2017-01-31-ent-313

උපේක්ෂා සෙව්වන්දි කියන්නේ ගායන ක්ෂේත්‍රයට අලුත් කෙනෙක්. මේ දිනවල ප්‍රචාරය වන ඇයගේ ‘ඔබ යන්න මා හැරදා’ ගීතයට හොඳ රසික ප්‍රතිචාරයක් ලැබෙනවා. ඉතින් ඇයගේ ගීතය ගැන වගේම ඇගේ කලාකටයුතු ගැන ‘සාරවිට’ සමග පිළිසඳරක යෙදුන අවස්ථාවකි මේ.

 

මුලින්ම ඔබ ගැන හැඳින්වීමක් කළොත්?

2017-01-31-ent-314මගේ නම උපේක්ෂා සෙව්වන්දි. මගේ වයස අවුරුදු 24යි. මගේ පදිංචිය මීරිගම. මගේ පවුලේ ඉන්නේ අම්මා, තාත්තා, අක්කා, අයියා, නංගී සහ මම.

 

ගීතයක් නිර්මාණය කරන්න හිතුවේ ඇයි?

පුංචි කාලෙ ඉඳන්ම මං දැකපු හීනයක් මේ. කොහොමහරි සැබෑ කරගන්න හිතුවා. අද ඒ හීනෙ සැබෑවක් වුණා. මේ මගේ පළමු නිර්මාණයයි.

 

පළමු වැනි ගීතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ඒ ගැන ගොඩක් සතුටුයි.

 

අද ගොඩක් නිර්මාණ බිහිවෙන්න ආදරය, විරහව ගැන. ඔබත් මේ රැල්ලටම යන කෙනෙක්ද?

අද නිර්මාණය වෙන බොහොමයක් නිර්මාණවලට ආදරය, විරහව මාතෘකාව වෙලා. මටත් හිතුණා පළමු නිර්මාණය මෙවැන්නක් කරන්න. නමුත් මේක රැල්ලට යාමක් නෙවෙයි.

 

ඒ කියන්නේ ඔබ එකම රාමුවක් තුළ රැඳී නොසිට නිර්මාණ කරනවා කියන එකද?

ඔව්. ඇත්තටම විවිධත්වයකින් යුතු නිර්මාණ කරන්න මම කැමතියි. විවිධ දේ දකින්න, අහන්න ගොඩක් අය කැමතියි. ඉතිං ඒ නිසා ඉදිරියේදී වෙනස් විදියෙ නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවා.

 

සංගීතය හැදෑරීමක් කරලා තියෙනවාද?

මම උසස් පෙළ හැදෑරුවේ කලා අංශයෙන්. මේ ක්ෂේත්‍ර‘යේ ඉගෙනගන්නට දේ බොහොමයි. සංගීතය පිළිබඳව හැදෑරීම් දිගටම කරන්න බලාපොරොත්තු වෙනවා.

 

ගායනය ඔබේ වෘත්තීය වේවිද?

නෑ. මගේ හැකියාවෙන් නිර්මාණයක් කරන්නයි මට ඕන වුණේ. ඉදිරියටත් එය එහෙමමයි.

 

ඔබේ වෘත්තීය?

දැනට මම පෞද්ගලික ආයතනයක සේවය කරනවා.

 

පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය මොනවගේද?

ලොකු සහයෝගයක් ලැබෙනවා. ඊටත් වඩා පවුලේ අයගේ ආශීර්වාදය මට ගොඩාක් වටිනවා.

 

වර්තමානයේ නවක ගායක ගායිකාවන් සහ නිර්මාණ බිහිවීමේ වර්ධනයක් පෙනෙනවා. ඔබ ඔබ මේ ගැන මොකද හිතන්නේ?

ඔව්, අද නවකයන්ගේ නිර්මාණ බොහෝ සේ බිහිවෙනවා. සිංදුවක් නොකරපු කෙනෙක් නැතිතරම්. මේ හැකියාව හැමෝටම ලැබිලා නෑ. ඒ ලැබුණු වටිනාකමෙන් තේරුමක් නැති දෙයක් කරනවාට වඩා ඒ දෙයින් හොඳ නිර්මාණයක් කරනවානම් ඒ ගැන සතුටු වෙන්න පුළුවන්.

 

ඔබගේ ඉදිරි වැඩකටයුතු සහ බලාපොරොත්තු මොනවාද?

සංගීතය වෙනුවෙන් කාලය කැප කරන්න, හොඳ නිර්මාණයක් කරන්න. ඒ වගේම ඒ හැමදේම රැකියාවත් සමග සාර්ථක කරගන්න.

 

ඔබට උදවුකළ අය ගැන මතක් කිරීමක් කළොත්?

ඒ වෙනුවෙන් ස්තූති කළ යුතු පිරිසක් ඉන්නවා. මේ හීනය හැබෑ වුණේ ඔවුන් නිසා. පළමු ස්තූතිය අම්මා, තාත්තා ඇතුළු මගේ පවුලේ අයට. මගේ යාළුවෝ මට ලොකු ශක්තියක් වුණා. විරාජ් මදුමාල්, ඉරේෂා කරුණාරත්න, පබළු කුමාර, වරුණ ගමගේ, හංසි මදුෂිකා ඒ වගේම මගේ මේ නිර්මාණය සඳහා සංගීත නිර්මාණය කළ අමිත් අයියා, පද රචනය කළ තිසර අයියා, සමීර ජනකාන්ත, ශීලා අතාවුද ඇතුළු මගේ ආයතනයේ මගේ යාලුවෝ හැමෝමත් ගොඩාක් ආදරෙන් මතක් කරනවා. මේ තැබූ පියවරට එයාලාගේ ආශීර්වාදය මට ලොකු ශක්තියක්.

 

දිනිත් කණිෂ්ක

2017-01-31-ent-312