(රෝෂන් තුෂාර)

දේශීයව හා විදේශීයව රුපියල් කෝටි  ගණනක  ජනතා මුදල්  වංචා කිරීමේ ඔන්ලයින් ජාවාරම මෙරට සිට මෙහෙය වූ විදේශීය සයිබර් අපරාධ සැකකරුවන්ට සහය දක්වමින් කෝටි ගණනක් මුදල් ඉපවූයේ යැයි කියන මහනුවර මහා රෝහලේ වෛද්‍යවරයෙකු ඔහුගේ පුතා සහ කැකිරාවේ පුද්ගලයකු  ලබන 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ  ගමගේ මහතා අද (05) නියෝග කළේය.

සැකකාර වෛද්‍යවරයා ඇතුළු තිදෙනා සයිබර් අපරාධකරුවන්ට මෙරට බැංකු ගිණුම් විවෘත කරදෙමින්, මුදල් උපයා ඇති බවත් කිස්ටොකරන්සි, බයිනෑන්ස් ගිණුම් මගින් මුදල් ලබාගැනීමට පහසුකම් සලසා දී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.

කෝටි ගණනක් මුදල් වංචා කළේ යැයි ඊයේ දින රක්ෂිත බන්ධනාගාර ගත වූ ශ්‍රී ලාංකික දෙදෙනා සහ  පාකිස්ථානය, ඉන්දියාව, බංගලාදේශය, ඉන්ඳුනීසියාව ,ඇල්ජීරියාව හා නේපාලය රටවල තරුණයින් 31ක් හා තරුණියන් 05 ක් ඇතුළු සැකකරුවන් 36ට අමතරව මෙම සැකකරුවන් තිදෙනාද නඩුවට ඇතුළත් කරන ලෙස රහස් පොලිසිය ඉල්ලා සිටියේය.

ඉදිරිපත් කළ පුද්ගලයින් සැකකරුවන් ලෙස පිළිගත් මහේස්ත්‍රාත්වරයා ලබන 18 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.