(සිරාජ් හසීම්)
 
කේරළ ගංජා ජාවාරමකට සැකපිට අත්අඩංගුවට ගත් වෑන් රියක් මුදා හරින ලෙස උසස් පොලිස් නිලධාරියෙකු කළ අනිසි බලපෑමක් ක්‍රියාත්මක නොකළ කිලිනොච්චි කොට්ඨාසයේ පොලිසියක පොලිස් පරීක්ෂකවරයකු කන්කසන්තුරේ කොට්ඨාසයට ස්ථාන මාරු කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
 
මෙම පොලිස් පරීක්ෂකවරයා කිලිනොච්චි කොට්ඨාසයේ පොලිසියක සේවය කරමින් සිට ඇති අතර ගංජා ජාවාරමට අදාළව වෑන් රිය අත්අඩංගුවට ගත් දිනයේ එම පොලිසියේ ස්ථානාධිපතිවරයා නිවාඩු ගොස් සිටි බව පොලිසිය පවසයි.
 
ගංජා කිලෝග්‍රෑම් හැටක් සහ ප්‍රවාහනය කළ වෑන් රිය අත්අඩංගුවට ගත් පොලිස් පරීක්ෂකවරයා නිසි ආකාරව විමර්ශන සිදු කර සටහන් තබා ඇති අතර අත්අඩංගුවට ගත් වාහනය මුදා හරින ලෙස පොලිස් ස්ථානාධිපතිවරයකු දුරකතනයෙන් උපදෙස් දී තිබේ. 
එම ස්ථානාධිපතිවරයා පොලිස් පරීක්ෂකට එම නීති විරෝධී නියෝගය දී ඇත්තේ සහකාර පොලිස් අධිකාරීවරයකුගේ කීමට බවත්, නීති විරෝධී නියෝගය අහක දැමූ පොලිස් පරීක්ෂකවරයා තමාට පැමිණි බලපෑම් ගැනද සටහන් තබා ඇති බවත් එම පොලිසියේ නිලධාරියෙක් පැවසීය.