මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුර ප්‍රේමශාන්ත මහතා වහා ක්‍රියාත්මක වන පරිදි මොණරාගල දිස්ත්‍රික්කයට මාරු කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කියයි.

ඔහු නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස්කර මෙම ස්ථාන මාරුව ලබා දී ඇතැයි ද කියති.

පොලිස් අධිකාරීවරයකු ලෙස සිටි ප්‍රේමශාන්ත මහතාට උසස්වීම් ලබානොදීමට එරෙහිව ඒ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුවක් අනුව ඔහුට මෙම උසස්වීම ලැබිණී.

 සාමාන්‍ය පොලිස් ක්‍රියාපටිපාටිය අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරීවරයකු විශේෂ පොලිස් අංශයක හෝ ක්‍රියාකාරී අංශයක අධ්‍යක්ෂක ධුරය හොබවනු ඇත. සුදුසුකම් ඇති ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු නැති අවස්ථාවක පොලිස් අධිකාරීවරයකු එම තනතුරට පත් කැරෙනු ඇත. එමෙන්ම එලෙස අධ්‍යක්ෂක ධූරය දරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු නියොජ්‍ය පොලිස්පති ධුරයට උසස් කළහොත් නියෝජ්‍ය පොලිස්පතිවරයකු අවශ්‍ය දිස්ත්‍රික්කයකට හෝ පොලිස් අංශයකට මාරු කරනු ඇත.

නමුත්  සමහර අවස්ථා වලදී එලෙස උසස්වීම් ලද නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉහළ නිපුණතාවයක් හිමි නිලධාරියකු නම් සුදුසු නිලධාරියකු අදාළ පොලිස් අංශයේ අධ්‍යක්ෂක ධුරයට පත්වන තුරු එම අංශයේ අධ්‍යක්ෂක ලෙස තබයි.

නමුත් ප්‍රේමශාන්ත මහතා ස්ථාන මාරු කළ ද මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ අධ්‍යක්ෂක ධුරයට සුදුසු නිලධාරියකු නොමැති හෙයින් එම අංශයේම සහකාර පොලිස් අධිකාරී පවිත්‍ර දයාරත්න මහතා වැඩ බලන අධ්‍යක්ෂක ලෙස පත් කර තිබේ.

පොලිස්පති පුජිත ජයසුන්දර මහතා මෙම උසස්වීම හා ස්ථාන මාරුව ජාතික පොලිස් කොමිසමේ අවධානයට යොමුකර ඇත්තේ ප්‍රේමශාන්ත මහතා මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂක තනතුරට ගැලපෙනම නිලධාරියා හෙයින් ඔහු  එම තනතුරේ තබන ලෙස එම අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යාලංකාර මහතා විශේෂ ඉල්ලීමක් කර තිබියදී ය.

ජනාධිපති ආරක්ෂක අංශයේ හා රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්ෂකවරුන් නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස් කර ඇතත් තවමත් ඔවුහු එම අංශ වල අධ්‍යක්ෂක ධුරය දරති.

මෙම ස්ථාන මාරුව දේශපාලන පළිගැනීමක් බව සිවිල් සමාජ කණ්ඩායම් චෝදනා කරති.