පසුගිය මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලැබූ පරාජයට වගකිව යුතු අය නව පක්ෂයක් හා එක්වීම පක්ෂයේ නව ගමනක් සඳහා ස්වභාව ධර්මයා විසින් මග විවර කර දීමක් යැයි ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පැවසීය.

පක්ෂයේ පරාජයට හේතු වූ සාධකය ලෙස තමන්ම වරද භාරගත් බැසිල් රාජපක්ෂ මහතාත්, පසුගිය කාලයේ රටට ජාත්‍යන්තර මතුවූ ගැටලූ සම්බන්ධව වගකිව යුතු හිටපු විදේශ කටයුතු ඇමතිවරයා හා පක්ෂයේ ගෞරවයට හානි වන ආකාරයේ දේ කළ හිටපු පළාත් පාලන නියෝජිතයින් කිහිපදෙනෙක් නව පක්ෂයක් හා එක්වීම පාක්ෂිකයින්ට ගැටලූවක් නොවන බව ද ඇමතිවරයා සඳහන් කළේය.

 රජයේ නිලධාරීන් පීඩාවට පත්කරමින් නීතිය ක්‍රියාත්මක කරනවාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධ බව කී අමාත්‍යවරයා ඒ ගැන ජනාධිපතිවරයාගේ ද අප්‍රසාදය පලවී ඇති බව කීවේය.

විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරීතුමන් අත්අඩංගුවට ගෙන ඇත්තේ රජයේ වාහන භාවිතය පිළිබඳ රුපියල් 1,40,000ක කරුණක් සම්බන්ධයෙන් බව කී අමාත්‍යවරයා වංචා දූෂණ මගින් මහා පරිමාණයෙන් දේපළ උපයාගත් අය සිටියදී රාජ්‍ය නිලධාරීන්ට මෙසේ නීතිය ක්‍රියාත්මකවීම අනුමත නොකරන බව ද සඳහන් කළේය.

අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ කමිටු කාමර 8 හිදී අද (29) පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.