(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

එල්නිනෝ  තත්වය ලබන වසරේ  පෙබරවාරි මාසයෙන් පසු ක්‍රමානුකූලව  පහව යනු ඇතැයි අලුත්ම පුරෝකතනය බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා ලංකාදීපයට පැවසීය.

එල්නිනෝ  හේතුවෙන්  මතුවන  වැසි සහිත තත්වය සැප්තැම්බර අග සිට   දෙසැම්බර් දක්වා පවතිනු ඇතැයි පැවසු අමාත්‍යවරයා පෙබරවාරි සිට අප්‍රේල් දක්වා නියඟ තත්වයක් වර්ධනය වනු ඇතැයි  කාලගුණ විද්‍යාඥයන් පුරෝකතනය කර ඇති බවද  ප්‍රකාශ කළේය.

මේ විෂම කාලගුණ තත්වයට මුහුණ දීම සඳහා  පරිසර අමාත්‍යාංශය හැටියට විශේෂ ක්‍රියාමාර්ග රැසක්  ගෙන ඇති බවත් වී වගා කටයුතු ඔක්තෝබර් 1-15 අතර කාලයේදී අවසන් කිරීමට ගොවි ප්‍රජාවට  උපදෙස්දී ඇති බවත් ඔහු කීවේය.

වර්ෂා කාල වලදී වැඩි ජල ප්‍රමාණයක් රඳවා ගැනීමට වැව් හෑරීම සහ  වෙනත්  පිළිසකර කිරීම් කටයුතු  කිරීමටද ගංගා ඔයවල්වල  වැලි බාධක ඉවත් කිරීමට ද  උපදෙස් දී ඇති බව  ධම්මික පටබැඳි මහතා පැවසීය.

එල්නිනෝ  තත්වය ශ්‍රී ලංකාවට බලපාන ආකාරය සම්බන්ධයෙන් විශේෂ අධ්‍යයනයක්  කර තොරතුරු රැසක් අනාවරණය කර ගත්   බවත් මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු සොයා බැලීමට එල්නිනෝ කමිටුව ලබන සඳුදා රැස්වන බවත් පරිසර අමාත්‍යවරයා   ප්‍රකාශ කළේය.

රටක් විදියට එල්නිනෝ  තත්ත්වය සාර්ථකව කළමනාකරණය කරමින් සිටින බව ධම්මික පටබැඳි මහතා  වැඩිදුරටත් පැවසීය.