(නිමන්ති රණසිංහ)

සිය බිරිද සමග සියදිවි හානිකර ගැනීමට සැලසුම් කර ඇයට මුලින්ම ඖෂධය එන්නත් කර පසුව තමාද එය විඳ ගැනීමට උත්සාහ දැරුවත් ඒ අවස්ථාවේදී ඇති වූ අධික බිය නිසා එසේ නොකළ බව ඖෂධයක් එන්නත් කරමින් සිය බිරිඳ ඝාතනය කිරීමට තැත්කළ බව කියන ත්‍රිකුණාමල මූලික රෝහලේ වෛද්‍යවරයා ප්‍රකාශයක් ලබා දෙමින් සඳහන් කර ඇතැයි බම්බලපිටිය පොලීසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන මහතා ඉදිරියේ අද (02) කරුණු වාර්තා කළේය.

මෙම සැකකරුගේ ප්‍රකාශ මත බිරිදට ඖෂධය එන්නත් කිරීමට යොදා ගත් සිලින්ජරය සහ එන්නත් කුප්පිය ඔවුන් ජීවත් වූ නිවසේ කාමරයක සගවා තිබියදී සොයා ගත් බව ද පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.

මේ වන විට මෙම විසි හය හැවිරිදි කාන්තාව කලුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඇය කෝමා තත්ත්වයට පත්ව ඇති බව වෛද්‍යවරු සදහන් කර ඇතැයි ද පොලීසිය අධිකරණයට සිය බී වාර්තාවෙන් දක්වා ඇත.

එන්නත් විද සිය බිරිද ඝාතනය කිරීමට තැත්කළැයි සදහන් කරමින් පොලීසිය සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර සැකකරු හෙට (04) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය.

ඒ අනුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ නො. 386, මුහුදු වෙරළ පාර, කොළඹ 06 පදිංචි ආදම්බාවා මොහොමදු ෂිපාන් නමැති තිස් හැවිරිදි වෛද්‍යවරයෙකි.