(ඩයනා උදයංගනී)

සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය විපක්ෂනායිකාව කටයුතු කරද්දී පාර්ලිමේන්තු නවක මන්ත්‍රීවරයකු වූ ඇගේ පුත් අනුර බණ්ඩාරනායක මහතා, එවකට අගමැතිවරයාව සිටි රණසිංහ ප්‍රේමදාස මහතා අතර පාර්ලිමේන්තුවේ සිදුවූ වචන හුවමාරුවක් සම්බන්ධයෙන් කෝපයට පත් මැතිනිය තම පුත්‍රයාට කම්මුල් පහරක් එල්ල කළේ නවකයකු වූ පුතාට පාඩමක් කියා දෙන්නට යැයි හිටපු අමාත්‍ය ඩීව් ගුණසේකර මහතා පැවැසීය.

දිවංගත අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ 21 වැනි ගුණ සැමරුම නිමින්තේන් ප්‍රධාන දේශනය පවත්වමින්  ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා ඒ බව සිහිතපත් කළේය.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය වැනි නායකයන්ගෙන් වර්තමානයට ලබාගත හැකි ආදර්ශ රැසක් පවතින බව සිහිපත් කරමින් ගුණසේකර මහතා අතීතයෝ සිද්ධීන් උදාහරණ ද දක්වමින් ඒ බව කියා සිටියේය.

“සිරිමාවෝ මැතිනිය විපක්‍ෂනායක ලෙස සිටියදී අගමැති ප්‍රේමදාස මහතා සහ අනුර බණ්ඩාරනායක මහතා අතර පාර්ලිමේන්තුවේ ඇතිවූ ගැටුමක් දුර ගියා. අනුර ඒ අවස්ථාවේ අගමැතිවරයාට අසභ්‍ය ආකාරයෙන් කතා කළා. මැතිනිය රූපවාහිනී තිරයෙන් එය බලා සිටය. අනුරට එන්න කියන්නැයි වේත්‍රධාරීවරයාට පැවසුවා. අනුර බණ්ඩාරනායක මහතා ආ සැණින් ඇය ඔහුගේ කම්මුලට පාරක් ගසා ‘අගමැතිට කතා කරන්නේ එහෙමද?’ කියා ඇහුවා. එය අම්මා කෙනෙක් වගේම දේශපාලන නායිකාවක් ලෙස කියාදුන් පාඩමක්. ඊට පසු ඔහු අගමැතිවරයා මොනවා කීවත් සිනා මුහුණින් ඒවාට සවන් දුන්නා.”

මැතිනියට පාර්ලිමේන්තුවේ වැඩියෙන්ම අපහාස කළේ ප්‍රේමදාස මහතායි. ඒත් මැතිනිය ඒවා හිතේ තියාගෙන හිටියේ නැහැ. මොනවා වුණත් ප්‍රේමදාස මහතා අගමැති කියන තැන සිට කටයුතු කළා. ඇය රාජ්‍ය නායිකාවක් ලෙස හැසිරුණු ආකාරය ඉතා ආදර්ශමත්. ඒ කාලේ පාර්ලිමේන්තුවේ මොන තරම් ගැටුම් වුණත් ඇය, ඩඩ්ලි සේනානායක වැනි නායකයන් පිටුපස හැරී බැලූ සැනින් සභාව නිහඬ වෙනවා. අද ජනාධිපතිතුමා, අගමැතිතුමා හැරිලා බැලුවට කවුරුත් තුට්ටුවකට ගණන් ගන්නේ නැහැ.” යැයි ද ඩිව් ගුණසේකර මහතා කීවේය.

“නිදහසින් පසු අපේ රට පාලනය කළ නායක නායිකාවන් අතරින් ප්‍රමුඛ වන්නේ කවුදැයි කිසිවෙක් ඇසුවොත් මම තෝරාගන්නේ බණ්ඩාරනායක මැතිණියයි. අපේ රට පාලනය කළ ඩී.එස් සේනානායක මහතාගේ සිට වත්මන් ජනාධිපතිතුමා දක්වා සියලු නායකයන්ට වඩා ඇය අභියෝගවලට මුහුණ දුන්නා. කුස්සියෙන් ආ අගමැතිනියක් වුණාට චීනය හා ඉන්දියාව අතර යුද්ධයක් ඇතිවූ වෙලාවේ ලෝකෙම බලා සිටියදී එයට මැදිහත් වුණේ අපේ පුංචි රටේ අගමැතිනියයි. දෙරටේ අගමැතිවරු සමඟ  කතා කර ඇය ඒ යුද්ධය නැවැත්වූවා. චීනය හා ඉන්දියාව තවමත් ඇයට ගරු කරන්නේ ඒ නිසයි.” යැයි ද ගුණසේකර මහතා මෙහිදී සඳහන් කළේය.