(සිරාජ් හසීම්)

දෙමළ ජනතාවගේ අර්බුදයට ස්ථීර විසදුම උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම බවත් වෙනත් ආකාරයේ විසදුමක් කිසිදු අයුරින් පිළිනොගන්නා බවත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් පසුගියදා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග කළ සාකච්ඡාවේදී ද පැවසූ බවත් ඒ මහතා කියයි.

 “දෙමළ ජනතාවගේ බලාපොරොත්තු ඉටුවන ආකාරයේ දේශපාලන විසදුමක් බලාපොරොත්තු වෙනවා.ශ්‍රී ලංකා රජය ලබන ජූනි මාසය අවසන් වන්නට පෙර යෝජිත නව ව්‍යවස්ථා  කෙටුම්පත ඉදිරිපත් කරනු ඇතියි අපේක්ෂා කරනවා. නව ව්‍යවස්ථාව තුළින් බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබා දීම දේශපාලන වශයෙන් කතා බහට ලක් වී තියෙනවා.මෑතකදී ශ්‍රී ලංකාවේ පැවති ජාත්‍යන්තර වෙසක් උත්සවයේදී බෞද්ධ ජනතාව පදිංචි වී නොසිටින සියයට සියයක්ම දෙමළ ජනතාව පමණක් ජීවත්වන උතුරු නැගෙනහිර පළාත්වල බෞද්ධ කොඩි දහස් ගණනක් ඔසවා තිබුණා.එක් පැත්තකින් දෙමළ ජනතාවගේ කටයුතු සම්බන්ධයෙන් කතා කරන රජය තවත් පසෙකින් දෙමළ ජාතිය වැනසීමේ ක්‍රියාවලියක නිරත වී සිටින බව පෙනෙනවා.“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රීධරන් මහතා මේ අදහස් ප්‍රකාශ කළේ යාපනය මාධ්‍ය සමාජයේ අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි