රෝෂන් තුෂාර

දෙමටගොඩ පොල් තෙල් සමාගමකින් පොල්තෙල් ලබාගෙන අගරු චෙක්පත් ලබාදී රුපියල් කෝටි පහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ විහාරාධිපති ඌවතැන්නේ සුමන හිමිට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන අද (7) වරෙන්තු නිකුත් කළේය.

කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි ක්‍රිෂ්ණමූර්ති කලෙයි චෙල්වම් නැමැති ව්‍යාපාරිකයකු 2022 හා 2023 යන වසරවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කරන ලද පැමිණිලි අනුව අධිකරණය හමුවේ විභාගවන නඩුවට පෙනී නොසිටීම මෙම වරෙන්තු නිකුත් කෙරුණි.

සැකකාර හිමි විසින් "බ්‍රෙකෝ ඔයිල් ඇන්ඩ් ෆෘට් ප්‍රයිවට් ලිමිටඩ්" නැමැති ආයතනයක් පවත්වාගෙන ගොස් එහි අධ්‍යක්ෂක වරයෙකු වශයෙන් පෙනී සිටිමින් අදාල ව්‍යාපාරිකයාගෙන් රුපියල් පන් කෝටි විසි දෙලක්ෂ පනස් දහස් නවසිය පනහක් වටිනා පොල්තෙල් කිලෝ 84,240 ක් ලබාගෙන ඒ වෙනුවට අගරු චෙක්පත් 8 ක් ලබාදී මෙම වංචාව සිදුකර ඇති බවද පැමිණිල්ල මෙහෙයවූ කොළඹ වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාශයේ විජිත රාජපක්ෂ අධිකරණයට කරුණු දක්වමින් පැවසීය .