(නිමල කොඩිතුවක්කු)

ගුරුවරුන්ට, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට අපහාස හා තර්ජන කිරීම නතර කොට රජය ඔවුන් සමග ගෞරවනීය එකඟතාවයකට පැමිණිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.

වැටුපේ වටිනාකම තුන් තුන්ගුණයකින් අඩුවී ඇති බැවින් ගුරුවරුන්ට ආකර්ෂණීය දීමනාවක් ලබා දිය යුතු බවත් මන්ත්‍රීවරයා පැවසීය.

එසේ නොමැතිනම් වෘත්තීයවේදීන් රට හැර යාම තවදුරටත් වැඩි වනු ඇතැයි ද 43 වන සේනාංකය කොළඹදී කැඳවූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේය.

අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය, මුදල් අමාත්‍යාංශය එක්ව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව වෙනුවෙන් ලබා දෙන දීමනාව ජීවන බර සහ සහ ඔවුන්ගේ වෘත්තීය ගරුත්වය යන කරුණු සලකා බලා අනිවාර්යෙන්ම වැඩි කළ යුතු බවත් රණවක මහතා කීවේය.

කෙසේ වෙතත් විශ්ව විද්‍යාල ගුරුවරුන් විසින් සකස් කළ ප්‍රශ්න පත්‍ර ඔවුන් පිළිතුරු පත්‍ර පරීක්ෂාවකින් තොරව හදිසියේ ඉවත් වීම යුක්ති සහගත නොවන බවත් මන්ත්‍රීවරයා පැවසීය.

අධ්‍යාපන අමාත්‍යාංශයට යම් කාලයක් ලබාදී දරුවන්ට අසාධාරණයක් නොවන අයුරින් නම්‍යශීලී අයුරින් මෙම ගැටලුව විසඳා ගත යුතු බවත් මන්ත්‍රීවරයා තවදුරටත් කීවේය.