හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා ලබා දුන් නියෝග නොතකමින් හම්බන්තොට ආයෝජන කලාපයට මුල් ගල තැබීමට එරෙහිව විරෝධතා පැවැත්වූ සහ පොදු දේපොළවලට අලාභ හානි කළ බව කියන 52කු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අධිකරණ නියෝග කඩ කළ තවත් පිරිස් සොයා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බව ද පොලිස් පොලිසිය පවසයි.

රජයේ නිලධාරියකු කීවේ මෙතෙක් අත්අඩංගුවට ගත් පිරිස අතර ප්‍රභල දේශපාලනඥයන් නොමැති බවයි.

හම්බන්තොට පරිපාලන සංකීර්ණය හා යෝජිත කර්මාන්ත පුරය ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වීම දින 14කට තහනම් කරමින් හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා පෙර දින (06) අතුරු නියෝගයක් නිකුත් කළේය.

අද (07) සංඝරත්නයේ සහයෙන් පවත්වන බව කියන උද්ඝෝෂණ නිසා ප්‍රදේශයේ මහජන සාමය කඩවී කැළඹිලි සහගත තත්ත්වයක් ඇති වේයැයි පොලිසිය දැක්වූ කරුණු සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය කළේය. මෙම අතුරු තහනම භික්ෂුන් වහන්සේ නම නමකටද හිටපු කථානායක චමල් රාජපක්ෂ හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු 26 දෙනකුට නිකුත් කිරීමට ද නියම කර තිබිණි.