2016-12-16-ent-20

මේ සිහිනය

අතැර නොයමි සසර ගමනෙ

නිම නොවූ....

යන මග දුර තනිව නොයමි

කඳුළු අතරෙ තනිනොවූ....

 

2016-12-16-ent-21ගායන ශිල්පිනී උරේෂා රවිහාරිගේ හඬින් විශාරද දර්ශන වික‍්‍රමතුංගගේ සංගීතයෙන් හැඩ වී මේ දිනවල නිතර ඇහෙන මේ අපූරු ගීතයේ පද රචිකාවිය තවමත් සංගීත ක්‍ෂෙත‍්‍රයට අලූත්. ඇය නෙලූ ප‍්‍රනාන්දු.

බලංගොඩ ශාන්ත ඇග්නස් බාලිකාවෙන් අධ්‍යාපනය හදාරා කැලණිය විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබූ නෙලූ පෞද්ගලික බැංකුවක රැකියාව කළත් පාසල් කාලයේ සිටම කවියට, ගීතයට දැක්වූ කැමැත්ත කොතැනකදීවත් මගනොහැරිය නව පරපුරේ ගීපද රචිකාවියක්.

‘‘පාසල් කාලයේ සිටම සිතේ තිබුණු සිහිනයක් තමයි මේ සැබෑවන්නේ. ගීතයට, කවියට පුංචි කාලයේ සිටම මම කැමැත්තක් දැක්වූවා. පද්‍ය රචනා ආදී තරගවලින් ජයග‍්‍රහණ පවා ලැබුවා. ඒවගේම පුවත්පත්වල පළවන ගීත පිළිබඳව ලියැවුණු ලිපි නොවරදවාම මම බලනවා. ඒ තුළින් ලද ආභාෂයෙන් තමයි ගීත රචනා කලාවට යොමුවන්නේ.’’

නෙලූ විසින් රචිත ප‍්‍රථම ගීතය ගායනා කරනු ලබන්නේ ප‍්‍රවීණ ගායන ශිල්පී ක‍්‍රිෂාන්ත එරන්දකයි. ‘‘නුඹ මට දුරයි’’ එම ගීතයේ සංගීත නිර්මාණය ප‍්‍රවීණ සංගීතවේදී නවරත්න ගමගේය. ඉන්පසු රණවිරු චරිත් කුලතිලක ගැයූ ‘‘වස්සානයට’’ ගීතයත් දර්ශන රුවන් දිසානායකගේ සංගීතයට සුගත් ධනවර්ධන ගැයූ ‘බිඳුණු සිත හැර දමා යන්නද?’ ගීතයත් නෙලූ අතින් ලියැවෙයි.

‘‘ප‍්‍රවීණ ගායන ශිල්පිනි උරේෂා රවිහාරි ගායනා කරන ‘මේ සිහිනය’ ගීතය මට සුවිශේෂයි. මොකද මේ ගීතය ඇයගේ හඬින් ගායනා කරවා ගන්න මම අවුරුදු 8 ක් විතර පෙරුම් පිරුවා. මේ ගීතය දෙන්න ඇය සොයා ගිහින් අන්තිමේදී ඇය මට හොඳ යෙහෙළියක් වුණා. ඉන්පසුවයි ඇය මේ ගීතය ගයන්නේ. උරේෂාටත් මේ ගීතය සුවිශේෂයි.’’

 

සුජිත් ප‍්‍රසංග