IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


උපුල් තරංගගේ වරෙන්තුව අභියාචනාධිකරණය අත්හිටුවයි

(මනෝප්‍රිය ගුණසේකර)

”ලෙජන්ඩ් ට්‍රෝෆි” ක්‍රිකට් තරගාවලියේ තරග පාවාදීමට බලපෑම් කළැයි චෝදනා කරමින් ඉන්දීය ජාතික ක්‍රිකට් කළමනාකරුවකු වූ අමිත් පටෙල් නමැත්තාට එරෙහිව ගොනුකර ඇති නඩුවේ සාක්ෂි දීමට අධිකරණයට නොපැමිණීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අත් අඩංගුවට ගැනීමට නියම කරමින් මාතලේ මහාධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක්  නිකුත් කළේය.

මේ වනවිට විදේශගතවී සිටින උපුල් තරංග මහතා මාතලේ මහාධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුවට අනුව අත්අඩංගුවට ගැනීමෙන් පොලිස්පතිවරයා, සහ ක්‍රීඩා වැරදි වැළැක්වීමේ ඒකකයේ නිලධාරීන් වළක්වන අතුරු නියෝගයක්ද අභියාචනාධිකරණය වැඩිදුරටත් නිකුත් කළේය.

අභියාචනාධීකරණ විනිසුරුවරුන් වන ලෆාර් තාහීර් සහ පී. කුමාරන්රත්නම් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලීණි.

ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මාතලේ මහාධිකරණ විනිසුරුවරයා, ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා, එහි ප්‍රධාන පොලිස් පරීක්ෂක සුපුල් විදානගේ, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා නම් කර ඇත. පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න මහතා කරුණු දක්වමින් මුදලට ක්‍රිකට් තරඟ පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තම සේවාදායකයා කළ පැමිණිල්ලකට අනුව මාතලේ මහාධිකරණයේ නඩු විභාගයක් පැවැත්වෙන බවත් අවස්ථා දෙකකදී තම සේවාදායකයා අදාළ අධිකරණයේ සාක්ෂි දී ඇති බවත් ඔහුගෙන් හරස් ප්‍රශ්න විමසීමට නියමිතව ඇති බවත් කීය.

ඇමෙරිකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරඟයකට සහභාගි වීම සඳහා තම සේවාදායකයා විදෙස් ගත වූ බවත් ඊට පෙර ඒ බව ක්‍රීඩා වැරදි වැළැක්වීමේ ඒකකයේ නිලධාරීන්ට ලිඛිතව සහ දුරකථන මගින් දැනුම් දුන් බවත් එසේ තිබියදී පසුගිය දිනයේ නඩුව කැඳවූ අවස්ථාවේදී සාක්ෂි දීමට පෙත්සම්කරු ඉදිරිපත් වී නොමැති බව පවසමින් ඔහුට වරෙන්තු නිකුත් කරන ලෙස රජයේ නීතිඥවරයා උසාවියෙන් ඉල්ලීමක් කර ඇතැයිද කී නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න මහතා මුදලට තරඟ පාවාදීමේ පැමිණිල්ල කළ පුද්ගලයා වන තම සේවාදායකයා යළි ලංකාවට පැමිණෙන අවස්ථාවේදී කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියම කර ඇතැයිද දැනුම් දුන්නේය.

තමන් විදේශගතවන බව අදාළ බලධාරීන්ට දැනුම් දී තිබියදී මෙලෙස අධිකරණයට කරුණු ඉදිරිපත් කර වරෙන්තු ලබා ගැනීම අසාධාරණ සහ අයුක්ති සහගත යැයි පෙන්වා දුන් නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න මහතා තම සේවාදායකයා අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් මාතලේ මහාධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක කිරීම අත්හිටුවන්නැයිද අදාළ වරෙන්තුවට අනුව ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පොලිස්පතිවරයා, සහ ක්‍රීඩා වැරදි වැළැක්වීමේ ඒකකයේ නිලධාරීන් වළක්වන අතුරු නියෝගයක් නනිකුත් කරන්නැයිද ඉල්ලා සිටියේය.

 



අදහස් (0)

උපුල් තරංගගේ වරෙන්තුව අභියාචනාධිකරණය අත්හිටුවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site