( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාගේ බැංකු ගිණුම පරීක්ෂා කිරීමේ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතින බවත් ,එම බැංකු ගිණුම් සියල්ල පරීක්ෂා කර බැලීම සඳහා තවත් කාලය අවශ්‍ය බව නීතිපතිවරයා අද (08) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය. නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා විසින් එලෙස අධිකරණයෙන් කල් ඉල්ලා සිටියේය.

තමාට එරෙහිව කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය මඟින් වරෙන්තුවක් ලබා ගැනීමෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය තමාගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇතැයි සඳහන් කරමින් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ගොනු කළ පෙත්සම  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද කැඳවු අතර එහිදී මෙම ඉල්ලීම කරන ලදී මෙම පෙත්සම  බුවනෙක අළුවිහාරේ , උපාලි අබේරත්න සහ අනිල් ගුණරත්න යන මහත්වරුන් හමුවේ කැඳවනු ලැබිණ. 

එහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ කියා සිටියේ දැනට අත්හිටුවා ඇති පෙත්සම්කරුගේ බැංකු ගිණුම් වලින් මුදාහැරිය හැකි බැංකු ගිණුම් තිබේද යන්න විමසා බැලීමට කල් ලබා දෙන ලෙසයි. කෝදාගොඩ මහතා කළ ඉල්ලීම පිළිගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම යළි සලකා බැලීම ලබන අගෝස්තු 28 වැනිදාට කල් තබන ලදි.