(සුජිත් හේවාජුලිගේ)

ඉරාන නැව් දෙකේ සිද්ධියෙන් ශ්‍රී ලංකා රජය සහ ආරක්ෂක අංශ  ලොකු  පඹ ගාලක  පැටලී සිටින බව වාර්තාවේ.

දැනට සොයා ගෙන ඇති ඉරාන නෞකාව රැගෙන ඒම සහ එහි නාවිකයන්ට රැකවරණ සැලසීම සම්බන්ධයෙන් විසඳුම් සොයා ගැනීම සඳහා ජාත්‍යන්තර සමුද්‍ර නීති සහ අනෙකුත් ජාත්‍යන්තර නීති  සහ ප්‍රඥප්ති අධ්‍යයනය කරගෙන යන බව රජයේ ප්‍රකාශකයෙක් පැවසීය.

ජ්‍යෙෂ්ඨ  නීතිඥයෝ කණ්ඩායමක් එම කටයුතු වල නිරත වෙති.

ඉරාන නෞකා දෙකේ සිට ජීවිත ආරක්ෂාව සඳහා ගොඩබිමට රැගෙන එන ලද නාවිකයන්ගේ  ජීවිත ආරක්ෂාව සැපයීමද  රජයට ලොකු අභියෝගයක් වී ඇතැයි ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කළේය.

එසේම කොළඹට ඈත මුහුදේදී සොයා ගනු ලැබූ ඉරාන නෞකාව ත්‍රිකුණාමල වරායට රැගෙන ඒම සහ එයට ආරක්ෂාව සැපයීමද රජයට තවත් ලොකු අභියෝගයක් බව ආරක්ෂක අංශ ප්‍රකාශකයෙක් පැවසීය.

පාර්ශ්වයන් දෙකක් අතර යුධමය තත්වයක් පවතින මොහොතක ගැටලු කළමනාකරණය කිරීම ඉතා පරිස්සමින් කිරීමට සිදුව ඇතැයිද   එම ප්‍රකාශකයා සඳහන් කළේය 

මේ අතර මෙම නැව් දෙක හා සම්බන්ධ සිද්ධියේදී ශ්‍රී ලංකාව කටයුතු කරපු ආකාරයේ නිවැරදි බවට රාජතාන්ත්‍රිකයන් රැසක් පෙන්වා දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ශ්‍රී ලංකා රජය මේ අවස්ථාවේදී මැදිහත්ව සිටින්නේ යුදමය කටයුත්තකට නොවන බවත් සාගර නීතිය සහ ප්‍රඥප්තිවලින් පැවරී ඇති මානුෂීය වගකීමක් වෙනුවෙන්  බවත් රාජිතාන්ත්‍රිකයෝ පෙන්වා දෙති.

රජය මේ සම්බන්ධයෙන්  විදේශීය රාජතාන්ත්‍රිකයන් පිරිසක්  සමඟ දීර්ඝව  සාකච්ඡා කර ඇතැයිද
දැනගන්නට ඇත.

ශ්‍රී ලංකාවේ ඉරාන තානාපතිවරයාද මේ කටයුතු සඳහා ක්‍රියාශීලීව සම්බන්ධ වී සිටී. ගැටළු විසඳා ගැනීම සඳහා ඔහු ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ දේශපාලනඥයන් රැසක්  සමග පසුගිය සතියේදී සාකච්ඡා පවත්වා ඇත.

මේ අතර  ඉරාන නැව් දෙකේ නාවිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජයේ බුද්ධි අංශද  විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

ඉන්දියාවේ විශාඛා පට්නම් හි පැවති යුධ අභ්‍යාසයකට සහභාගි වී ඉරානය බලා යමින් සිටි අයිරිස් ඩේනා නෞකාව ශ්‍රී ලංකාවට ඈත මුහුදේදී පසුගිය 4 වැනිදා   ඇමරිකාවේ සබ්මැරීන් ප්‍රහාරයකින් විනාශයට පත් විය.

එම නැවේ එකසිය අසූ දෙනෙකු ගමන් කර ඇත. ඉන් 32 කගේ ජීවිත බේරා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් විය. නැවේ ගමන් ගත් තවත් නාවිකයන් අසූහත් දෙනකුගේ මළ සිරුරු ගාල්ල ජාතික රෝහලට රැගෙන එනු ලැබීය.

කොළඹට ඈත මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන නෞකාවේ නාවික සාමාජිකයෝ  250කට වැඩි පිරිසක්ද ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මුදා  ගෙන වැලිසර නාවික හමුදා කඳවුරේ රඳවනු ලැබ සිටිති.

මේ අතර මැද පෙරදිග අර්බුදයෙන් පසු මෙරට විදේශීය තානාපති කාර්යාල සහ රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ නිල නිවාස 85 කට විශේෂ ආරක්ෂාව ලබාදී ඇතැයි රජය පවසයි.

ඉරාන නැව් දෙකේ සිද්ධියෙන් පසු නාවික හමුදාව සහ ගුවන් හමුදාව ශ්‍රී ලංකා මුහුදු කලාපයේ විශේෂ නිරීක්ෂණ මෙහෙයුමක්ද ආරම්භ කරනු ලැබ ඇත.