(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකාව සහ ඊශ්‍රායලය, ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් උත්තරීතර නායක මොජ්තබා කමේනිට අවම වශයෙන් එක් පාදයක් අහිමිවී ඇති බවත් අක්මාවටද දැඩිව හානි වී ඇති බවත් කුවේටයේ "අල්-ජරීදා" පුවත්පත සහ බ්‍රිතාන්‍යයේ "ද සන්" පුවත්පත පසුගියදා වාර්තා කළේය.

ඔහුගේ තුවාලවලට  ප්‍රතිකාර කිරීම සඳහා සියලු පහසුකම් සහිත විශේෂඥ රෝහලක් අවශ්‍ය වුවත් ඇමෙරිකාව සහ ඊශ්‍රායලය, දිගින් දිගටම ඉරානයට ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් කමේනිට ඉරානය තුළ ප්‍රතිකාර කිරීම අපහසු වී ඇති බවත් එම පුවත්පත් ප්‍රකාශ කළේය.

ඒ හේතුවෙන් ඉරාන උත්තරීතර නායකයාව ඉතාමත් රහසිගතව රුසියාවට රැගෙන ගොස් ඇති බවත් ඒ සඳහා රුසියානු හමුදා ගුවන් යානයක් ඉරානයට පැමිණ ඇති බවත් එම පුවත්පත් සඳහන් කළේය.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ආරාධනාව පරිදි ඉරාන උත්තරීතර නායකයාව රුසියාවට රැගෙන ගොස් ඇති බවත් පුටින්ගේ නිල නිවසකදී කමේනි සාර්ථකව ශල්‍යකර්මයකට මුහුණදී ඇති බවත් එම පුවත්පත් පැවැසුවේය.

කමේනිට රුසියාවේදී ප්‍රතිකාර කළ හැකි බව රුසියානු ජනාධිපතිවරයා පසුගිය 12 වැනිදා දුරකතන මාර්ගයෙන් යෝජනා කර ඇති බවත් එදිනම පස්වරුවේ තුවාල ලබා සිටි කමේනිව රුසියාව බලා රැගෙන ගොස් ඇති බවත් එම පුවත්පත් සඳහන් කළේය. මොජ්තබා කමේනි තුවාල ලැබුවේ අයතුල්ලා අලි කමේනි මියගිය ප්‍රහාරයෙන්ද වෙනත් ප්‍රහාරයකින්ද පැහැදිලි නැතැයි එම පුවත්පත් වාර්තා කළේය.

ඉරාන උත්තරීතර නායකයා ලෙස පත්වීමෙන් පසුව මොජ්තබා කමේනි තවමත් ප්‍රසිද්ධියේ පෙනී නොසිටීමට එය හේතුව බවද එම පුවත්පත් සඳහන් කළේය.