(විමුක්ති එස් රුද්‍රිගූ)

ඊශ්‍රායලයේ බියර්ෂෙබා නේවාසික ප්‍රදේශයට එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයක කොටස් නිවසක් මතට වැටීමෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් තුවාල ලබා ඇතැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා අද ප්‍රකාශ කළේය.

බියර්ෂෙබා ප්‍රදේශයට ඉරානය එල්ල කළ මිසයිලයක් ඊශ්‍රායල ගුවන් ආරක්ෂණ පද්ධතිය සාර්ථක විනාශ කර දමා ඇති බවත් එහි සුන්බුන් ශ්‍රී ලාංකික කාන්තාව සේවය කළ නිවස මතට වැටී ඇති බවත් බණ්ඩාර මහතා පැවසුවේය.

තුවාල ලැබූ ශ්‍රී ලාංකික කාන්තාව එම නිවසේ රැකබලා ගන්නෙකු ලෙස සේවය කර ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.

ශ්‍රී ලාංකික කාන්තාව තුවාල ලැබීමෙන් අනතුරුව සොරකා වෛද්‍ය මධ්‍යස්ථානයට ඇතුළත් කළ බවත් සුළු තුවාල ලබා සිටි ඇය වෛද්‍ය උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව නිවස බලා පිටත්ව ගොස් ඇති බවත් තානාපතිවරයා සඳහන් කළේය.

ඇයගේ තත්ත්වය බරපතල නොවන බවද ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.