(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

උපයන විට බදු ගෙවීමේ සීමාව අයවැයෙන් ඉහළ දැමීම නිසා රුපියල් කෝටි 1600 ක බදු ප්‍රමාණයක් රජයට අහිමි වන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ඒ මුදල ජනතාව අත ඉතිරි වන බවද අමාත්‍යවරයා කීය.

“අපි ගෙදර යන දවසට දාන්න ජනතාව රතිඤ්ඤා ඉතුරු කරගෙන ඉන්නවා යැයි ගයන්ත මන්ත්‍රීතුමා පැවසුවා.තුනෙන් දෙකක බලයක් ගත්ත අවස්ථාවේවත් රතිඤ්ඤ දාපු නැති ජනතාවක් හදපු දේශපාලන ව්‍යාපාරයක් අපි.තව ටික දවසක් යන විට මාලිමා ආණ්ඩුව රට හදනවා යැයි මේ අය වැයෙන්ද ඔප්පු කර පෙන්වා තිබෙනවා.අප මේ අයවැයෙන්ද සමාජ ප්‍රතිසංස්කරණ වලට අදාළ විශාල යෝජනා ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබෙනවා.ඊට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.යටිතල පහසුකම් සංවර්ධනය සඳහා 2025 වසරේ ප්‍රාග්ධන වියදම් බිලියන 1016 ක් වෙන් කළා.2026 වසරේ බිලියන 1480ක් වෙන් කළා.2027 වසර සඳහා බිලියන 2000 ක් වෙන්කර තිබෙනවා.ඒ මුදල් වෙන් කර තිබෙන්නේ සංවර්ධන කටයුතු සඳහායි යැයි අමාත්‍යවරයා කීය.