(  සිතුම් චතුරංග)

උතුරු පළාතේ හිංදු කෝවිල් තුළ පවතින ඉපැරණි දේව ප්‍රතිමා සහ භාණ්ඩ සොරාගෙන කොළඹ ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයින්ට අලෙවි කිරීමේ ජාවාරමක නිරතවූ පුද්ගලයින් දෙදෙනකු කොළඹ ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව තෙලිප්පලෙයි පොලිසිය කියයි.

සැකකරුවන් සොයාගන්නා ලද ඉපැරණි සෛලමය දේව ප්‍රතිමා 12ක් සහ භාණ්ඩ කිහිපයක් සොයාගත් බවද පොලිසිය පැවසීය.

යාපනය තෙලිප්පලෙයි ප්‍රදේශයේ හින්දු කෝවිල් තුළ වසර සියයකට ආසන්න පෞරාණික වටිනාකමින් යුත් දේව ප්‍රතිමා සහ භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධීන් සම්බන්ධයෙන් ලැබුණ පැමිණිලි මත සිදුකළ විශේෂ විමර්ශනයකදී සැකකරුවන් හා සොරාගන්නා ලද දේවප්‍රතිමා සොයාගෙන තිබේ.

සැකකරුවන් දෙදෙනා විසින් හින්දු කෝවිලෙන් සොරාගන්නා මෙම පිළිම විවිද උපක්‍රම භාවිතා කරමින් රහසිගත ලෙස කොළඹ ප්‍රදේශයට රැගෙනගොස් ඇති බවත් එහිදී විශාල මුදලකට මෙම පිළිම කොළඹ සිටින ව්‍යාපාරිකයන් වෙත අලෙවිකොට ඇති බවද පොලිසිය පැවසීය.

දේව ප්‍රතිමා මිළදී ගත් ඇතැම් ව්‍යාපාරිකයින් පැරණි භාණ්ඩ විකිනීමේ ව්‍යාපාර සිදුකරන පුද්ගලයින් බවත් ඔවුන් මෙම පිළිම ලක්ෂ දෙකකට අධික මුදලකට අලෙවි කිරීම සඳහා තමන්ගේ ව්‍යාපාරික ස්ථානයේ තබා තිබියදී සොයාගත් බව පැවසේ.

ඉපැරණි ගණදෙවි ප්‍රතිමා, නාග රූප හා වෛරවන් දේව ප්‍රතිමා සඳහා ව්‍යාපාරිකයන්ගේ ඉල්ලුමක් පවතින බැවින් සැකකරුවන් එම ප්‍රතිමා සොරකම් කිරීමට පෙළඹී ඇති බවට තොරතුරු ආනාරණයවූ බවද පොලිසිය පැවසීය.

අත්අඩංගුවටගත් සැකකරුවන් කීරමලේ සහ අච්චුවේලි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකි.