
(අංජුල මහික වීරරත්න)
ඉන්ධන පිරිමැසීම පිළිබඳ සෑම අමාත්‍යාංශයක් සතුවම ප්‍රායෝගික වැඩපිළිවෙළක් තිබිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
එය දත්ත මත පදනම් වූ අවම බලශක්ති පරිභෝජනයක් සහතික වන තිරසාර ක්‍රියාවලියක් විය යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ පිළිබඳ කඩිනම් වාර්තාවක් අමාත්‍යාංශ මට්ටමින් ලබා දෙන ලෙස උපදෙස් දුන්නේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම උපදෙස් ලබා දුන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරිම් අධීක්ෂණය සඳහා පත් කළ කමිටුව සමඟ හමුවකට අද (17) ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.
අමාත්‍යවරු සහ අමාත්‍යාංශ ලේකම්වරු සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා ලබා දුන් උපදෙස් අනුව අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ රාජ්‍ය සහ පෞද්ගලික සැපයුම් දාම අඛණ්ඩව පවත්වා ගනිමින් ජනතාවට හිඟයකින් තොරව සාධාරණ මිලට භාණ්ඩ සැපයීම තහවුරු කිරීම සඳහා මෙම කමිටුව පත් කෙරිණි.
ඉන්ධන මිල ඉහළ යාම සමඟ භාණ්ඩ මිලද ඉහළ යාම සලකා බලා ගොවි ජනතාවටද බලපෑමක් නොවන පරිදි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව සාධාරණ මිලට ජනතාවට ලබා දීම වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග සහ මිල පාලනය සඳහා ගත හැකි විකල්ප ක්‍රමවේද පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී කීවේ සතොස ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හරින රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සමඟ මෙන්ම තොග ආනයනකරුවන් සමග සාකච්ඡා කර ඔවුන්ගේ ඉන්ධන අවශ්‍යතා පිළිබද තොරතුරු රැස් කරමින් එම සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ඛනිජ තෙල් නිතිගත සංස්ථාව සමග එක්ව වැඩපිළිවෙළක් සකස් කරමින් තිබෙන බවයි.
සංචාරක ක්ෂේත්රයේ ඉන්ධන අවශ්‍යතාව සොයා බලා මින් පෙර භාවිත කළ QR ක්‍රමය පවත්වාගෙන යාම පිළිබඳවත්, හෝටල් සඳහා අවශ්‍ය ගෑස් සහ ඉන්ධන පහසුකම් සලසාදීමේ ක්‍රමවේදයක් සකස් කරමින් තිබෙන බවත් මෙහිදී සඳහන් විය.
බහුදින ධීවර යාත්‍රා සහ වරාය කටයුතු සඳහා ඉන්ධන ලබා දීම මේ වන විට සිදු වන අතර එම කෝටා ප්රමාණයන්හි ඇති ගැටලු පිළිබඳවද අවධානය යොමු විය.
කෘෂිකර්ම කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන ලබා දීමේදී කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්ගේ නිර්දේශ මත ඉන්ධන ලබා දීම සිදු වන අතර, එම ක්‍රියාවලිය පහසුකර ගැනීම සඳහා ගොවි සංගම් මැදිහත් කර ගත හැකි අන්දම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.
වරාය මෙහෙයුම් සහ ගුවන් තොටුපොළ කටයුතු සඳහා ඉන්ධන ලබා දීමේදී මතුව ඇති තත්ත්වය පිළිබඳ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමග සාකච්ඡා කර වැඩපිළිවෙළක් සැකසීමටත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ කටයුතු සහ වැවිලි ක්ෂේත්රය ආදී ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය පහසුකම් සපයා දීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරිණි.
සෞඛ්‍ය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් ලෙස පවත්වාගෙන යන අතරම, මතුව ඇති තත්ත්වය හමුවේ උපරිම ඉන්ධන පිරිමැසුම් ක්‍රියාවලියක් සහතික කිරීම පිළිබඳ සාකච්ඡා කර තොරතුරු රැස් කර තිබෙන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ඒ අනුව ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ප්‍රාදේශීය ඉන්ධන සංචිත පවත්වාගෙන යාමේ කටයුතු මේ වන විට සිදු කරමින් තිබෙන අතර, ඖෂධ ප්‍රවාහනය සහ රෝහල් සඳහා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයට අදාළ ඉන්ධන අවශ්‍යතාව පිළිබඳ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත තොරතුරු ලබා දී ඇති බවත් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා ක්‍රමවත්ව සපුරාලීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳවත්, එම කටයුතු සැලසුම් සහගතව ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳවත් මෙහිදි සාකච්ඡා විය.
පවතින තත්ත්වය හමුවේ ජාතික ආර්ථිකයට අවම බලපෑමක් වන පරිදි ඉදිකිරීම් ක්ෂේත්රයේ මතුව ඇති තත්ත්වයන් කළමනාකරණය කර ගැනීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක, යන මහත්වරු ද, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඒ. විමලේන්තිරාජා, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් කෝලිත කමල් ජිනදාස, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, යන මහත්ම මහත්මීහු සහ අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති, සංචාරක මණ්ඩලයේ සභාපති ඇතුළු අදාළ රේඛීය ආයතන ප්‍රධානීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd