ඉන්දීය අධ්‍යාපන අමාත්‍යවරයාට සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන්නැයි බල කරමින්, ඉන්දියාවේ ‘කැරපොතු ජනතා පක්ෂය’ නමින් හැඳින්වෙන දේශපාලන බලවේගයේ තරුණ ක්‍රියාකාරීන්, පොලිස් නියෝග පවා නොතකමින්, නවදිල්ලි අගනුවර සාමකාමී විරෝධතාවක් ආරම්භ කර ඇත.

නවදිල්ලි බලධාරීන් පවසන්නේ, ඉකුත් සති අන්තයේ ආරම්භ වුණු මෙම විරෝධයට මේ වනවිට දහසකට වැඩි තරුණ තරුණියන් පිරිසක් එක් රොක් වී සිටින බවය.

ඉන්දියාවේ බිලියන 1.4ක් වන සමස්ත ජනගහනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් වයස අවුරුදු 25 ට අඩු තරුණ තරුණියන්ය. ‘කැරපොතු ජනතා පක්ෂය’ යන නමින් හැඳින්වෙන මෙම දේශපාලන බලවේගයට සම්බන්ධ වී සිටින්නේ ද ජෙන්සී පරම්පරාවට අයත් එම තරුණ තරුණියන්ය.

පවතින රැකියා හිඟය සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවන අකටයුතුකම්, විභාග ප්‍රශ්න පත්‍ර කාන්දුවීම සහ විභාග ලකුණු ලබාදීමේදී සිදුවන අක්‍රමිකතා ආදිය මුල්කොට ගනිමින්, ඊට විරෝධය පාමින් අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් ට සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන්නැයි විරෝධතාවට එක් වී සිටින කැරපොතු ජනතා පක්ෂයේ ක්‍රියාකාරීන්ගේ ඉල්ලීමය.

කැරපොතු ජනතා පක්ෂයේ ආරම්භය සිදුවූයේ පසුගිය මැයි 15 වැනිදා ඉන්දීය අගවිනිසුරු සූර්ය කාන්ත් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමිනි. ‘හරිහමන් වෘත්තීය සුදුසුකමක් නැති තරුණ තරුණියන් මාධ්‍යකරුවන්, සමාජ ක්‍රියාකාරීන් විදියට හැසිරෙනවා. සමාජ ක්‍රියාකාරීන් විදියට ඔවුන් හැම ක්ෂේත්‍රයකටම පහර දෙනවා. ඔවුන් පරයෝෂිතයන්. ඔවුන් කැරපොත්තන් වගේ. හරිම වදයක්’ යනු අගවිනිසුරුවරයා කළ එම ප්‍රකාශයයි.

එම ප්‍රකාශය ඉන්දීය ජෙන් සී තරුණ ප්‍රජාවේ දැඩි විරෝධයට හේතුවක් වූ අතර, ඇමෙරිකාවේ අධ්‍යාපනය ලබන, ඉන්දීය තරුණයකු වන අභිජීත් දිප්කේ නමැති තරුණයාගේ මැදිහත් වීමෙන් ‘කැරපොතු ජනතා පක්ෂය’ නිර්මාණය විය. අභිජීත් දිප්කේ දේශපාලන සන්නිවේදන උපායමාර්ගිකයෙකි. අභිජීත් දිප්කේ වටා ඉන්දීය තරුණ ප්‍රජාව එක් රොක්වුණු අතර, එය දේශපාලන බලවේගයක් බවට අද පරිවර්තනය වී අවසන යැයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි.