(ෂේන් සෙනෙවිරත්න)

මහනුවර දොඩම්වල හල්ලොලුව පාලම අසල හුදකලාව පිහිටි සුපිරි නිවාසයක් තුළ තරුණ ඉන්දියානු ජාතිකයන් පිරිසක් විසින් පවත්වාගෙන ගිය බවට සැකකරන පරිගණක අපරාධ මධ්‍යස්ථානයක් වටලා එම ඉන්දියානු ජාතිකයන් 12 දෙනකු සහ පරිගණක ලැප්ටොප් ඇතුළු විශාල භාණ්ඩ තොගයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

රුපියල් ලක්ෂ තුනකට ආසන්න මාසික කුලී මුදලක් ගෙවා වයස අවුරුදු 30 ට අඩු ඉන්දියානු තරුණයන් දොළොස් දෙනෙකු විසින් එම නිවස කුලියට ගෙන කිසිවෙකුටත් ඇතුල් විය නොහැකි ආකාරයට ආරක්ෂක ගේට්ටු යොදා ඔවුන්ගේ ව්‍යාපාරය කරගෙන ගොස් ඇති බව පොලිසිය කියයි .

මෙම ස්ථානයේ ජාත්‍යන්තර මට්ටමේ අන්තර්ජාල ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති බවට හෝ වෙනත් පරිගණක අපරාධ මෙම ස්ථානයේදී සිදුකොට ඇතිද යන්න සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ .

ඔවුන්ගේ ආහාර පිස ගැනීම සඳහා ඉන්දියාවෙන් කෝකිවරුන් දෙදෙනෙකු ද ගෙනැවිත් තිබූ බව පවසන පොලිසිය ඔවුන් කිසිවෙකුටත් දහවල් කාලයේ එම නිවසෙන් පිටවීම තහනම් කොට තිබී ඇති බවද කියයි .

 

.