(ප්‍රසාද් මුතුකුඩ) 

කුවේට් සිට කටුනායක බලා ගමන් ගනිමින් තිබූ ගුවන් යානයක සිටි මගියකු (52) උඩු ගුවනේදි මිය ගොස් ඇතැයි ගුවන්තොටුපොළ පොලිසිය කියයි.
අතරමැදි හුවමාරු මගියකු ලෙස යානයේ ගමන් ගනිමින් සිටියදී එසේ මියගොස් ඇත්තේ මුතාජ් මුරුගන් නමැති ඉන්දීය ජාතිකයෙකි.
යානයේ කාර්ය මණ්ඩලය හදිසි රෝගියකු සිටින බව  දැන පැය තුනක පමණ කාලයක්  ඔහුට    ඔක්සිජන්  ලබා දීමට කටයුතු කර  ආසන්නයේ  ඇති ගුවන්තොටුපොළකට  යානය  ගොඩ නොබස්වා පැය තුනක් පමණ  පියාසර කරමින්  කටුනායකට පැමිණ තිබු බවත්  කුවේට් සිට  තමිල්නාඩුවට සෘජු ගුවන් ගමන් ලබා ගැනීමට ඇති අපහසුතාවය  මත කටුනායකට  පැමිණ ඇති බවත් යානය කටුනායක ගොඩබස්වන විටත් රෝගියා මිය ගොස් තිබු බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
 මෙම මරණය සම්බන්ධයෙන් ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලය දැනුවත් කර ඇති  අතර හදිසි මරණ පරික්ෂණයක් පවත්වා  දේහය ඉන්දියාවේ ඥාතින් හට  භාර දීමට  හා එරටට  යැවීමට කටයුතු  කර ඇති බව පොලිසිය පවසයි.