තමන්ගේ නිල ආරාධනයක් පරිදි මෙම මැයි මස දිවයිනට පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සංචාරය තුළදී එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උත්සවයට සහභාගීවීම හැර වෙනත් කිසිදු රාජකාරී කටයුත්තක් සිදු නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ මඩකලපුව ඔඩ්ඩමාවඩි මහා විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවයට අද (29) පෙරවරුවේ එක් වෙමිනි.


ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණෙන්නේ රටේ කොටස් අයිති කර ගැනීමට ගිවිසුම් අත්සන් තැබීමට බව ඇතැම් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ වැරදි ප්‍රචාර ගෙන යමින් සිටින බව පැවසූ ජනාධිපතිතුමා මෙම සියලු ප්‍රචාර ආණ්ඩු විරෝධි පිරිසක් විසින් ගෙන යන අසත්‍ය ප්‍රචාර බව ද කියා සිටියේය.


අද ශ්‍රී ලංකාවට සෑම රටකම මිත්‍රශීලි සහයෝගය හිමිව තිබෙන බව  පැවසූ ජනාධිපතිවරයා ඒ තුළින් ශ්‍රී ලංකාවට සංවර්ධිත රටක් බවට ගොඩනැඟිය හැකි බවත්, එම වැඩපිළිවෙළේදී සියලු ජන කොටස් අතර තිබිය යුතු සාමය, සමගිය සහ විශ්වාසය බිඳ දැමීමට අන්තවාදී පිරිසක් උත්සාහ දරන බවත් ප්‍රකාශ කළේය.


ඔඩ්ඩමාවඩි මහා විද්‍යාලයේ තෙමහල් පරිපාලන ගොඩනැගිලි සංකීර්ණය විවෘත කෙරුණේ ද ජනාධිපතිවරයා අතිනි.

 

(ඡායාරූප : ජනාධිපති මාධ්‍ය අංශය)