ඇඹිලිපිටිය නගරයේ නිවසක පැවති සාදයකදී පොලීසිය හා ඇතිවූ ගැටුමෙන් තුවාල ලබා මියගිය එක්දරු පියාගේ මරණයට සම්බන්‍ධව අද (27) පැවති මහේස්ත‍්‍රාත් පරීක්‍ෂණයේදී සාක්කියෙන් කියවුණු සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඇඹිලිපිටිය අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න ප‍්‍රනාන්දු මහතා රහස් පොලිසියට නියෝග කළේ ය.

මියගිය සුමිත් ප‍්‍රසන්න ජයවර්ධනගේ බිරිඳ ශෂිකා නිශාමනී මුණසිංහ මුලින්ම සාක්කි දෙමින් පැවසූයේ තම සැමියා ඉහළ මහලෙන් පහළට තල්ලූ කළේ ඇඹිලිපිටිය පොලීසියේ සහකාර පොලිස් අධිකාරිවරයා බවයි. එමෙන්ම ඇඹිලිපිටිය මුලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයා ද සිවිල් ඇදුමින් සැරසි සිටි බව ද එහිදී කියැවිණි. සාක්කිකාරියගේ සාක්කියේදි මෙම නිලධාරින් තනතුරු වලින් හැඳින්විණි.  ඇය පැය එකහමාරක් තිස්සේ සාක්කි දුන්නාය.

මහේස්ත‍්‍රාත් පරීක්‍ෂණය ආරම්භයේදීම නීතීඥ සංගමයේ ලේකම් නීතීඥ අජිත් පතිරණ මහතා කරුණු දක්වමින් පැවසුවේ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නිතිඥ සංගමය ද පෙනී සිටින බවයි. මනුෂ්‍ය ඝාතනයක් සිදුව ඇතත් මෙතෙක් කිසිදු සැකකරුවකු අත්අඩංගුවට ගෙන නැති බව ඔහු කීවේ ය. අධිකරණයෙන් යුක්තිය ඉටුවීම පමණක් නොව ඉටුවන බව පෙනිය යුතුයැයිද කීවේ ය.

මරණකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතීඥ විජිත පුංචිහේවා මහතා සමග පෙනී සිටි ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසුරිය මහතා පැවසුවේ මියගිය අයගේ බිරිඳගේ සාක්කියෙන් සිද්ධියවු තැනට  පැමිණි පිරිස අතරින් පැහැදිලිව හඳුනාගත් කිහිප දෙනෙකුගේ නම් කියවුණ බවයි.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිවේදී දිලීප පිරිස් මහතා අධිරණයෙන් ඉල්ලිමක් කරමින් පොලිසිය ද සම්බන්‍ධ බවට තොරතුරු කියවෙන සිදුවීමක අගතියට පත් පාර්ශවයක් වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව කරුණු දක්වන බවයි.

ඒ අනුව රහස් පොලිසිය සාක්කි මෙහෙයැවීමෙන් ඉවත් විය. සාක්කියේදී ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරිවරයා සහ මුලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයා මෙම සිද්ධිය වු තැනට පැමිණ බවට කරුණු සඳහන් වූ නිසා ඔවුන් සම්බන්‍ධයෙන් කිසිදු සැකයක් නොමැතිව අත්අඩංගුවට ගැනීමේ නියෝගයක දිය හැකි බවත් එසේම පැමිණිල්ල වෙනුවෙන් මේ අනාවරණය වු පුද්ගලයන් විදෙස්ගතවීම වළක්වන නියෝගයක් ද අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් ද නිකුත් කරන්නැයි රජයේ නීතිවේදියා ඉල්ලා සිටියේ ය.

සාක්කිකාරියගේ සාක්කි විමසිම අවසානයේ නියෝගයක් නිකුත්කළ අතිරේක මහේස්ත‍්‍රාත්වරයා ශසිකා නිශාමනී මුණසිංහගේ සාක්කියේ සඳහන් සැකකරුවන් ඇත්නම් ඔවුන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස රහස් පොලිසියට නියෝග කළේය. එසේම සෙසු සැකකරුවන්  ද විමර්ශන පවත්වා අත්අඩංගුවට ගන්නා ලෙස ද නියම කළේ ය. මේ ගැන පොලිස්පති නියෝගය මත පරීක්ෂණ පැවැත්වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමසිංහ මහතා කියා සිටියේ ඇඹිලිපිටිය පොලිසියේ දුරකථන ක්‍රියාකරු ඇතුළු සියලු දෙනාම පොදු අරමුණක් ඇතිව එම සිද්ධිය යටපත් කිරීමට ක්‍රියා කර ඇති බවයි. ඒ අනුව එම සාදයට පොලිසියේ විසි දෙදෙනකු පමණ ගොස් ඇතැයිද ඔවුන් සියලු දෙනාම අත්අඩංගුවට ගැනීමට නියමිත යැයිද පොලිසිය පවසයි.

ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරීවරයාගේ සහ මුලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයාගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් නොකළේය. වැඩිදුර විභාගය පෙබරවාරි 03 දින පස්වරු 02.00 දක්වා කල් තැබිණි.

මහේස්ත‍්‍රාත් අධිකරණයේ මෙම සාක්කි විමසද්දී නීතියේ සාධාරණය මෙතෙක් ඉටු නොවුණ බවත් නිතියේ සාධාරණත්වය ඉටුකරන ලෙස ඉල්ලමින් තරුණයෝ පිරිසක් පුවරු ප‍්‍රදර්ශනය කරමින් විරෝධතාවක් ද පැවැත් වූහ.

ඇඹිලිපිටි සිද්ධියේ මරණ පරීක්ෂණය පිළිබඳ සාක්කි විමසීමේ තුන්වැනි දිනයේ මිය ගිය සුමිත් ප්‍රසන්නගේ බිරිය අද (27) සාක්කි ලබාදුන් බවත් නීතිඥ සංගමය වෙනුවෙන් තමා අධිකරණයට කරුණු දක්වමින් නීතිය ඉදිරියේ සැවොම එක සමාන බවත් එබැවින් මෙම නඩුවේ පැහැදිලි සාක්කි තිබෙන නිසා ඊට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටි බවත් නීතිඥ සංගමයේ ලේකම් අජිත් පතිරණ මහතා පැවසීය.

ඔහු පැවසූයේ අගතියට පත් පාර්ශවය නීතිපතිගෙන් කළ ඉල්ලීමක් අනුව රජයේ නීතිඥවරයකු ඔවුන් වෙනුවෙන් අද පෙනී සිටි බවයි.

01 06 09

වීඩියෝ සැකසුම - අකිල බද්දෙවිතාන