(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකා එක්සත් ජනපදය තම මානව අයිතිවාසිකම් කඩකර ඇති බවට ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් වෙත ලිපියක් යොමු කරමින් වයඹ පළාත් ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩ මහතා චෝදනා කර ඇත.

තමා සහ තම පවුලේ සාමාජිකයන් ඇමෙරිකා එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කරමින් සම්බාධක පැනවීම තුළින් තමාගේ මානව අයිතිවාසිකම් කඩ වී ඇති බව කරන්නාගොඩ මහතා ඇමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් මහත්මිය වෙත යොමු කළ ලිපියේ දැඩිව සඳහන් කර තිබේ.

ජුලී චන්ග් මහත්මිය විසින් සිදු කරන ලද වැරදි චෝදනා හේතුවෙන් තමා වසර 45කට වැඩි කාලයක් රාජ්‍ය සේවකයෙකු ලෙස ඉපැයූ ගෞරවයට සහ කීර්තියට හානි සිදු වූ බව කරන්නාගොඩ මහතා එම ලිපිය මගින් ජුලී චන්ග් මහත්මියට දැනුම් දී ඇත.ජූලි චන්ග් මහත්මියගේ ක්‍රියා කලාපය හේතුවෙන් ශ්‍රී ලංකා නීතිය යටතේ තමාගේ මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳ නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව කරන්නාගොඩ මහතා එම ලිපිය මගින් ජුලී චන්ග් මහත්මිය දැනුවත් කර තිබේ.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා තමාට එල්ල වී ඇති චෝදනා පිළිබඳවද කිසිඳු දැනුවත් කිරීමක් සිදු නොකළ බවද කරන්නාගොඩ මහතා එම ලිපියේ සඳහන් කර ඇත.