තරිඳු ජයවර්ධන
සිංහරාජයේ සිටින අලි දෙන්නා හෙක්ටයාර 36ක ප්‍රදේශයකට කොටු කිරීම සම්බන්ධයෙන් ඉදිරි පත් වී ඇති යෝජනාවට විරෝධය දක්වන බව පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා පැවසීය.
වනජීවී අමාත්‍යවරයාට හමුදාව පාලනය කරන අයුරින් අලින් පාලනය කළ නොහැකි බවත්, හෙක්ටයාර 36ක භූමියක කොටු කිරීමෙන් අලින්ගේ ජෛවීය අවශ්‍යතා සපුරා ගැනීමට බාධා පැමිණෙන බවත් රවීන්ද්‍ර කාරිවසම් මහතා කීවේය.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා මෙසේ ද කීවේය.
‘‘සිංහරාජයේ සිටින අලි දෙදෙනා කලවාන දොලේකන්ද ප්‍රදේශයේ පාරුගල හෙක්ටයාර 36 ක භූමියකට කොටුකර රැඳවුම් මධ්‍යස්ථානයක් ඉදි කරන්න සහ ඊට අදාළව ඉඩම් අත්පත් කර ගන්න වනජීවී අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඊට කැබිනට් අනුමැතියත් ලැබිලා තියෙනවා. අලින් දෙදෙනා හෙක්ටයාර 36කට කොටු කරලා ප්රශ්නය විසඳහන්නයි තිරණය කරලා තියෙන්නේ.
වනජීවී අමාත්‍යවරයා හමුදාවේ ප්‍රශ්න විසඳන විදියටයි අලින්ගේ ප්‍රශ්න විසඳහන්න හදන්නේ. හමුදාවේ පිරිස් නම් කෑම්ප් එකකට කොටු කරලා ඉන්න කිව්වොත් ඉන්න වෙනවා. නමුත් අලින්ට කියන්න පුලුවන්ද හෙක්ටයාර 36ක භූමියක ඉන්න කියලා. ජෛව විද්‍යාත්මකව මෙයාලගේ අවශ්‍යතා ගත්තොත් අලියකුට එක දවසකට ආහාර කිලෝ ග්‍රෑම් 150ක් විතර ඕනෑ. ජලය ලීටර 120ක් විතර ඕනෑ. දවසකට අලියෙක් කිලෝමීටර 15ක් පමණ අවිදින බව සොයාගෙන තිබෙනවා. ආහාරයි ජලයයි ගෙනත් අක්කර 36 ඇතුළට දැම්මත් මද කිපෙන කාලෙට වැටවල් පේන්නේ නෑ. ඔවුන්ගේ අවශ්‍යතා සොයාගෙන යන්න සිද්ධ වෙනවා.
පැහැදිලිවම මේක වනජීවී අමාත්‍යවරයාගේ යෝජනාවක් වෙන්න බෑ. මේ තීරණය එන්නේ 2006 වර්ෂයේදී. 2006 දී වනජීවී අමාත්‍යංශය හදනවා වන අලි කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය කියලා එකක්. එහි තියෙන්නේ අලි අක්කර 50 සීමාවලට කොටු කරලා වැටෙන් පනින අලි කලහකාරී අලි ලෙස සලකා පෞද්ගලික අයිතියට පවරනවා කියලයි. වැටෙන් පැන්නොත් අලියා වික්කා. වැටෙන් පැන්නොත් කාට හරි හාමුදුරුනමකට හෝ මුදලාලි කෙනකුට අලියා දෙනවා. මේක තමයි මේ යළිත් කරන්න හදන්නේ.
සිහරාජයේ අලි දෙන්නා ආරක්ෂා කරන්න සහ සිංහරාජයේ සිදුවන ජාන මංකොල්ලය නවත්වන්න අපි ජනාධිපතිට සහ වනජීවී ඇමැතිට යෝජනා දුන්නා. ඒ ගැන සැලකිල්ලක් දක්වලා නෑ. මේකේ අවසන් ප්‍රතිඵලය වෙන්නේ අලි දෙන්නා වැට කඩාගෙන පැන්නට පස්සේ කවුරු හරි වෙඩි තියලා මරන්න ඉඩ තියෙනවා. අපි පැහැදිලිව කරන්න ඕනෑ දේවල් කිව්වා. ඇමැතිට හෝ නියෝජ්‍ය ඇමැතිට ඒ ගැන අවශ්‍ය දැනුම නැතිනම් ඊට අදාල විද්‍යාත්මක දැනුම දෙන්න අපි සූදානම්. අල්ලසට, පගාවට මුදලට නෙමෙයි. අපි නොමිලයේ අවශ්‍ය විද්‍යාත්මක දැනුම දෙන්න සූදානම්.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළු සිංහරාජේ වටේම තියෙන සියලු මිනිස් වාස ඒ ප්‍රදේශයෙන් ඉවත් කරන්න ඕනා, සිංහ රාජේ අලින්ට හා වෙනත් වනසතුන්ට පමණක් දෙන්න ඕනා.
මෙහෙම ගියොත් අපේ රට පිස්සන් කොටුවක් වෙනවා. මොනා කරන්න ගියත් කව්රුහරි මොකක් හරි කියලා වළක්වනවා. දැන් මේ අලින්ගෙන් කරදර විදින මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට පරිසර මහත්තුරු දෙන උත්තර මොකක්ද?
දැන් මේ අය හිතාගෙන ඉන්නේ පරිසරය ගැන වන සත්තු ගැන ඒ අය විතරයි දන්නේ කියලා. යමක් කරන්න කියන්න කලින් ඒ අයගෙන් අහන්න අවසර ගන්න ඕන කියන උද්දච්ඡ මානසිකත්වයෙන් තමයි කතා කරන්නේ ඔය අලි දෙන්නා සිංහරාජයෙන් ඉවත් කරන්න ගිය විට විරුද්ධ වුනෙත් දැන් උන්ගේ වාසස්ථාන වල උන් කොටුකර තබන්න ගිය වීට ඊටත් විරුද්ධ වුන ඒ හේතුව නිසාමයි. ඔය කියන විද්‍යාත්මක විසදුම මුලින්ම රටට කියන්න ඕන ඊට පස්සේ බලන්න පුළුවන් ඒක සාර්ථක වේවිද නැතිද කියලා. අනිවාර්යෙන් ඔය කියන විද්‍යාත්මක විසදුම විශාල වියදමක් දැරීය යුතු හා බොහෝ කාලයක් ගතවන එකක් විය යුතුයි. නමුත් දැන් අවශ්‍ය වන්නේ අඩු වියදමකින් කෙටි කාලයකදී සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකි විසදුමකී. එසේ නොවුනොහොත් අලි දෙදෙනාගේ මෙන්ම ගම් වාසින්ගෙත් ජීවිත අනතුරේය.
පරිසරවේදීන් මොන විරෝධය පැවත්, අවසානයේ කල යුත්තේ සියලු දෙනාටම සරිලන ප්‍රයෝගික විසදුමක් කරා යාම පමණයි. හෙක්ටයාර 36 ක් යනු අක්කර 90 කට ආසන්න බිම් ප්‍රමාණයක් වන අතර, එම බිම් ප්‍රමාණය අලි දෙදෙනෙකු සඳහා හොදටම ප්‍රමාණවත්. මීට අමතරව, වනජීවී අමාත්‍යාංශය විසින් මේ අලි දෙදෙනා සඳහා අහාර සහ පශු වෛද්‍ය පහසුකම් සැලැස්වීමට සැලසුම් කර තිබෙනවා. රටක ජනගහනයේ වර්ධනයත් සමග, ජන අවශ්‍යතා සඳහා කැලා එලි කිරීම සිදුවීම වැලැක්විය නොහැකියි. මේ අලි දෙදෙනා නිරීක්ෂණයකින් තොරව වනයේ වාසය කිරීමට සැලැස්විය හොත්, බොහෝ විට සිදුවිය හැක්කේ ආත්මාරක්ෂාව සඳහා ගොවියෙකු විසින් තබන ලද වෙඩි පහරකට ලක් වීමයි.
ඔය කියන විද්‍යාත්මක දැනුමැති යෝජනාව ඒ ගම්මාන වල මිනිස්සුත් එක්ක ගිහින් කතා කරලා බලන්න. අලි දෙන්නව වෙන තැනකට ගෙනියන්න දෙන්නෙත් නෑ. ඇතුළේ කොටු කරලා තියන්න කැමතිත් නෑ. ඒ වගේම අලි දෙන්නා එතන ඉන්නවට ගමේ මිනිස්සු කැමතිත් නෑ.