(බී.ජී.චතුරංග)

වල් අලින් ගම්වැදීම වැළැක්වීමට ඉදිකර ඇති  විදුලි වැටක සවිකර තිබූ ලක්ෂ හතරක් පමණ වටිනා එනජයිසරයක් (විදුලි ධාරාව අඩු කර, කඩින් කඩ ලැබීම සලස්වන යන්ත්‍රයක්) සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි ආරක්ෂාවට යොදවා සිටි  සිවිල් ආරක්ෂක බළකා සෙබළුන් දෙදෙනකු හා ගොවියකු  අත්අඩංගුවට ගත් බව විලච්චිය පොලිසිය පවසයි.

මන්නාරම් හන්දිය, දෙගැහැව ප්‍රදේශයේ විදුලි වැටට සවිකර ඇති එනජයිසරයේ ආරක්ෂාව සඳහා මෙම සිවිල් ආරක්ෂක බළකා සෙබලුන් දෙදෙනා රාජකාරියේ යොදවා සිටින අතරවාරයේදී, එය සවිකර තිබූ කාමරයේ ඉදිරිපස දොර කඩා කිසියම් අයකු හෝ පිරිසක් මෙම සොරකම සිදු කර ඇති බව පොලීසිය කියයි.

මේ සම්බන්ධයෙන් වන සත්ව අඩවි ආරක්ෂක නිලධාරියකු  මහවිලච්චිය පොලිසියට පැමිණිල්ලක් සිදු කිරීමෙන් අනතුරුව සිදුකළ විමර්ශනවලදී, එහි ආරක්ෂාවට යොදවා සිටි සිවිල් ආරක්ෂක බළකා සෙබළුන් හා ගොවියා  අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සොරකම සම්බන්ධයෙන් සිවිල් ආරක්ෂක බලකා සෙබළුන්ගේ යම් අනු දැනුමක් ඇතිවූ බවට අනාවරණය වන බවත්  තුන්වන සැකකරු වන ගොවිතැනින් ජීවත් වන පුද්ගලයා මේ ආසන්නයේ පදිංචි කරුවකුවන බවත්  පොලීසිය කියයි.