මේ වසරේ සිට ප්‍රමිති සහතිකය වන එස්එල්එස් සහතිකය නොමැති, තත්ත්වයෙන් බාල ආරක්ෂිත හිස්වැසුම් (හෙල්මට්) භාවිතය තහනම් බව පොලිස් රථවාහන මුලස්ථානය පවසයි.

ඒ නිසා අලූතින් ආරක්ෂිත හිස්වැසුම් මිලදී ගන්නා විට ඒ සම්බන‍්ධයෙන් සැලකිලිමත්වන ලෙස පොලිස් රථවාහන මූලස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

යතුරු පැදි ධාවනයේ දී යතුරුපැදිකරු භාවිතා කරන ආරක්ෂිත හිස්වැසුමේ වයිසරය තිබීම අනිවාර්ය බව ද පොලිස් රථවාහන මූලස්ථාන උප පොලිස් පරීක‍්ෂක සේනක ගමගේ මහතා පවසයි.

වර්තමානයේ සිදුවන රිය අනතුරු අතර යතුරුපැදි අනතුරු ඉහළ අගයක් ගන්නා බවද ඔහු පෙන්වා දුන්නේය. ප්‍රමිතියෙන් යුතු හිස්වැසුම්  භාවිතා කිරීමෙන් එවැනි අනතුරක දී හිසට සිදුවන අනතුරු හෝ වළක්වා ගත හැකි බව ද උප පොලිස් පරීක‍්ෂකවරයා අවධාරණය කළේය.

යතුරු පැදි ධාවනයේ දී මාර්ග නීති නොසලකා ධාවනය කිරීම ද, රිය අනතුරු වලට තවත් හේතුවක් බව සේනක ගමගේ මහතා පෙන්වා දුන්නේය.

එසේම ආරක්ෂිත හිස්වැසුම් භාවිතයේ දී එය හිසට තදින් හිරවී තිබිය යුතු බව කී ඔහු බුරුල් හෙල්මට් භාවිත කරන අවස්ථාවක දී අනතුරක් සිදුවුවහොත් කන් අඩියට හානිවීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බව ද කීවේය.

එමෙන්ම යතුරු පැදි ධාවනයේ දී ජංගම දුරකතනය ආරක්ෂිත හිස්වැසුම සහ කණ අතර රඳවාගෙන කතා කරමින් යතුරු පැදි පැදවීම නොකරන ලෙස ද  ඔහු ඉල්ලා සිටියි.