
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ සංශෝධන රහිතව සම්මත විය.
මේ අනුව එම පනත් කෙටුම්පතට කතානායකවරයා අත්සන් තැබීමෙන් පසු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර අහෝසි වී යනු ඇත.
ශ්‍රී ලංකාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (Chief of the Defence Staff - CDS) තනතුර මුලින්ම ඇති කරන ලද්දේ 2000 අප්‍රේල් 21 වැනිදාය.
මුලින්ම මෙම තනතුර 2000 වසරේදී කාර්යාලයීය ක්‍රමවේදයක් (Joint Operations Headquarters) ලෙස ආරම්භ වූ අතර, එහි ප්‍රථම ධුරධාරියා වූයේ හිටපු යුද හමුදාපති ජෙනරාල් රොහාන් දළුවත්ත මහතාය.
පසුව, 2009 ජූලි 15 වන දින පැනවූ 2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත (Chief of Defence Staff Act, No. 35 of 2009) මඟින් මෙම තනතුර සහ ඊට අදාළ කාර්යාලය නීත්‍යානුකූලව සහ නිල වශයෙන් ශක්තිමත් කරමින් ස්ථාපිත කරන ලදී.
ත්‍රිවිධ හමුදා (යුද, නාවික සහ ගුවන්) මෙහෙයුම් ඒකාබද්ධව සම්බන්ධීකරණය කිරීම සඳහා පිහිටුවනු ලැබූ මෙම තනතුර, අනවශ්‍ය වැයබරක් ලෙස සලකා වර්තමාන රජය එය අහෝසි කිරීමට තීරණය කළේය.
එම තනතුරේ අවසන් වශයෙන් කටයුතු කළේ හිටපු යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාය.
ඔහු පසුගියදා එම තනතුරෙන් විශ්‍රාම ලැබීය. මේ සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා පැවසූවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ඉවත් කිරීමෙන් ජාතික ආරක්ෂාවට කිසිදු බලපෑමක් සිදු නොවන බවයි.
ආරක්ෂක මණ්ඩලය ජාතික ආරක්ෂාවට අවශ්‍ය තීරණ ගන්නා බවද ඔහු සඳහන් කළේය. මෙම තනතුර වෙනුවෙන් පසුගිය වසර 16 ක කාලයේදී රුපියල් කෝටි නවසීයක් වෙන්කර තිබූ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd