හම්බන්තොට ආයෝජන කලාපයට මුල් ගල තැබීමට එරෙහිව පැවැති උද්ඝෝෂණය වාර්තා කරමින් සිටි හිරු රූපවාහිනියේ ඩ්‍රෝන කැමරාව ආරක්ෂක අංශයේ යැයි කියන පිරිසක් රැගෙන ගොස් ඇතැයි එම නාලිකාව පැමිණිලි කර තිබේ.

ඩ්‍රෝන කැමරාව ඉහළට යවා වාර්තා කිරීමෙන් පසු යළි පහළට ගත් අවස්ථාවේ හේතු නොදක්වා එම පිරිස එය රැගෙන ගොස් ඇත. එම නාලිකාව පැමිණිලි කිරීමෙන් පසු අද පස්වරු 7.30ට පමණ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්ගේ මැදිහත්වීම මත ඩ්‍රෝනය ලබා දුන්නද එහි දත්ත සටහන් වන උපාංගය (චිප්) ලබා දී නැතැයි දැනගන්නට තිබේ.

මේ ගැන රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් රංග කලංසූරිය මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා කීවේ ඩ්‍රෝන කැමරාව තම මැදිහත්වීමෙන් යළි මාධ්‍ය ආයතනයට ලබා දුන් බවයි. එහි දත්ත සටහන්වන උපාංගය ද යළි ලබා දීමට කටයුතු කරමින් සිටින බව ද කලංසූරිය මහතා කීවේය.

ආයෝජන කළාපයට මුල් ගල තැබීමේ උත්සවය පැවැතියේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ ශ්‍රී ලංකාවේ චීන තානාපතිගේ ප්‍රධානත්වයෙනි. එම උත්සවය ආරම්භ වීමට පෙර සිට  හම්බන්තොට ස්ථාන කිහිපයක විරෝධතා පැවැත්විණි. හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා පෙර දින නියෝග කර තිබුණේ නම්කළ ස්ථාන කිහිපයක විරෝධතා නොපවත්වන ලෙසයි. එම නියෝගයේ පිටපත් හිටපු කතානායක චමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, පළාත් සභා මන්ත්‍රී ඩී වී උපුල් මහත්වරු ඇතුළු 23 දෙනකුට ලබා දෙන ලස නියෝග කර තිබිණි.

කෙසේ වෙතත් අද උදෑසන ප්‍රධාන මාර්ග අයිනේ පොලිසියේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ මාර්ග බාධක යොදා තිබුණු අතර ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබිණි. විරෝධතාකරුවෝ අතුරු මාර්ග හා කැලෑබද මාර්ග ඔස්සේ උත්සවය තිබුණු ස්ථානයට මදක් නුදුරට පැමිණියහ. ඒ සමග උත්සවයේ සිටි පිරිසක් හා විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් හටගත් අතර දෙපාර්ශ්වය ගල් මුල් ගසා ගත් බව සිද්ධිය දුටුවෝ කීහ.

පොලිසිය මැදිහත්වී උද්ඝෝෂණය පාලනය කළ අතර පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාද එම ස්ථානයට පැමිණ සිටිනු දක්නට ලැබිණි. පොලිසිය හා විශේෂ කාර්ය බළකාය ජල ප්‍රහාර හා කඳුළු ගෑස් එල්ල කරමින් උද්ඝෝෂකයන් විසිරුවරු හැරීය. උද්ඝෝෂකයන් තැනින් තැන ටයර් පුළුස්සා තිබිණි. ඒකාබද්ධ විපක්ෂය නියේාජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ද විරෝධතාවන්ට එක්ව සිටියහ.

එම ස්ථානයේ සිටි මාධවේදීන් කිහිප දෙනකු කීවේ සිද්ධිය අවස්ථාවේ දුරකතන මාර්ග අවහිරයක් ඇති වූ බවයි.

ඒකාබද්ධ විපක්ෂය හම්බන්තොටදී මාධ්‍ය හමුවක් කැඳවමින් කීවේ විරෝධතාවය විසිරවූ ආකාරය හෙළා දකින බවයි. විරෝධතා පැවැත්වීමේ අයිතියට අත නොතබන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද සවස නිවේදනයක් නිකුත් කරමින් රජයට බල කර සිටියේය.

 රජයේ පාර්ශව කියනුයේ උසාවි නියෝග නොතකා ඒකාබද්ධ විපක්ෂයේ මෙහෙයවීමෙන් පිරිසක් විරෝධතා පැවැත්වූ බවයි. ඇති වීමට ගිය කළහකාරී තත්ත්වය පොලිසිය මැදිහත්ව පාලනය කළ බව ද ඔවුහු කියති.

15909879_1102074083249480_475749252_n 15941728_1102074193249469_59092908_n 15941867_1102073956582826_1134482540_n