(යොහාන් භාසුර)

මෙරට ඉන්ධන ආනයනය, බෙදාහැරීමේ සහ අළෙවි කිරීමට අනුමැතිය හිමිව තිබෙන ආර්.එම්. පාර්ක් - ෂෙල් සමාගම ලබන මැයි මස මැද දිනයක ගිවිසුම්ගත වී ජුනි මස පළමු සතියේ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට එකඟතාවය පළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

එම සමාගමේ තාක්ෂණික නිලධාරීන් පසුගිය සතියේ තොග ගබඩා පර්යන්තයේ කළ සංචාරයේදී නිරික්ෂණය කළ නැව් ගොඩබැමේදී ජාත්‍යන්තර වශයෙන් අවශ්‍ය පහසුකම් එම සමාගමේ මුල්‍ය ආයෝජනය හරහා මැයි මාසය තුළ නවීකරණය කිරීමට ද සහය පළ කළ බව ද අමාත්‍යවරයා කීය.

ආර්.එම්. පාර්ක් - ෂෙල් සමාගමේ නිලධාරීන් සමග මාර්ගගත ක්‍රමය ඔස්සේ හමුවක් පැවැති අතර එහිදී මෙරට ඉන්ධන ආනයනය, බෙදාහැරීමේ සහ අළෙවි කිරීමේ ව්‍යාපාර ආරම්භ කිරීමට අවශ්‍ය ව්‍යාපර බලපත්‍ර, ගිවිසුම, ප්‍රතිපත්ති, යටිතල පහසුකම්, ගිවිසුම්ගත වන දින වකවානු සහ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන කාල රාමුව පිළිබඳව සාකච්ඡා කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යය පවසයි.

මෙම අවස්ථාවට විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශ, ශ්‍රී ලංකා මහ බැංකුව, ආයෝජන මණ්ඩලය, ඛණිජ තෙල් සංස්ථාව සහ ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තය යන ආයතනවල නිලධාරීන් මාර්ගගත ක්‍රමය ඔස්සේ එක්වූහ.