(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරුන් පහළොස් දහස්  නව සිය අසූ හය දෙනකු  සිය ලියාපදිංචිය අලුත් කර නොගැනීම නිසා ආයුර්වේද වෛද්‍ය සභාවට රුපියල්  කෝටි දෙකකට ආසන්න මුදලක් අහිමිවී ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

එම සභාවේ ලියාපදිංචි සියලුම වෛද්‍යවරුන් වර්ෂ පහකට වරක් ලියාපදිංචිය යාවත්කාලීන කළයුතු වුවත් ලියාපදිංචිය යාවත්කාලීන කිරීම සඳහා ආයුර්වේද වෛද්‍ය සභාව විධිමත් ක්‍රමවේදයක් හඳුනාගෙන ක්‍රියාත්මක කර නැතැයිද ඒ කාර්යාලය සඳහන් කරයි.

මේ අතර සුදුසුකම් ලද අයදුම්කරුවන් සංඛ්‍යාව 295 ක්  ලෙස හඳුනා ගෙන තිබියදී 2016-2020 අතර කාලයේදි   පාරම්පරික  ආයුර්වේද වෛද්‍යවරුන් 367 දෙනකු  වෛද්‍ය සභාවේ ලියාපදිංචි කර තිබූ බව විගණන අංශ තොරතුරු අනාවරණය කරගෙන ඇත.

මේ අතර ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන්ගේ වෘත්තීය විසමාචාර සම්බන්ධයෙන් සහ  ලියාපදිංචි නොවූ ආයුර්වේද වෛද්‍යවරුන් ලෙස පෙනී සිටි තැනැත්තන් සම්බන්ධයෙන් ආයුර්වේද වෛද්‍ය සභාවට පැමිණිලි 220කින් පැමිණිලි  124ක විමර්ශන  පසුගිය වසරේ මාර්තු 15 වැනිදා වනවිටත්  අවසන් කර නොතිබූ බව  පවසන විගණන කාර්යාලය පසුගිය 2020 වසරේ දී ලැබී තිබූ පැමිණිලි 28කින්  වැඩිදුර පරීක්ෂාව සඳහා පොලිසියට යොමු කර තිබුණු පැමිණිලි එකොළහක් සම්බන්ධයෙන් ප්‍රමාණවත් පසු විපරම් කර නොතිබූ බවද  ප්‍රකාශ කරයි.

ක්‍රියාකාරී සැළැස්මේ ඇතුලත්ව තිබුණු ක්‍රියාකාරකම් තුනක් 2020 වසරේදී ආරම්භ කිරීමට නොහැකිවී තිබුණු අතර තවත් ක්‍රියාකාරකම් තුනක භෞතික ප්‍රගතිය සියයට  50 කට වඩා අඩු වූ බව  විගණන අංශ පවසයි.

ව්‍යාජ වෛද්‍යවරයකු සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක්  ආයුර්වේද වෛද්‍ය සභාව  වැඩිදුර පරීක්ෂණ සඳහා  පොලිසියට යොමු කර නැතැයිද  විගණන  කාර්යාලයට තොරතුරු හෙළි වී ඇත.

මේ අතර  ආයුර්වේද වෛද්‍ය සභාව 2018 සහ20 19 වර්ෂවලට අදාල වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය  වැඩිදුරටත් පවසයි.