(සුජිත් හේවාජුලිගේ)

ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ  සබරගමු විශ්වවිද්‍යාලය ඇතුළු ආයතන අටක  දූෂණ  වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් පැමිණිලි  23 ක්  අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට යොමු කර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පැවසීය

මෙම පැමිණිලි සම්බන්ධයෙන් අල්ලස් හෝ  දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්  අද හෙටම විමර්ශන ආරම්භ කෙරෙනු ඇත.

කෝප්  කමිටුවේ විමර්ශනවලට අදාල  ලිපිගොනු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට බාරදීමට කෝප්   කමිටුවට මෙතෙක් බලයක්  නොතිබිණ. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සංශෝධනයෙන් කමිටුවට එම බලතල ලැබී ඇතැයිද  කෝප් කමිටු සභාපතිවරයා කීවේය.

මේ අතර ආයතනික සැලසුම් ඉදිරිපත් කරන ලෙසට කෝප් කමිටුව දුන් නියෝග  නොසලකා හැර ඇති ආයතන කිහිපයක් සම්බන්ධයෙන් එම  කමිටුවේ අවධානය යොමුව ඇති බව නිශාන්ත සමරවීර මහතා පැවසීය.

දූෂණ වංචා සහ ආක්‍රමිකතා සම්බන්ධයෙන් කරුණු වීමසීමට තවත් රාජ්‍ය ආයතන කිහිපයක්  ලබන සතියේදී  කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතය.