(සුජිත් හේවාජුලිගේ )


අලුතින් පත් කිරීමට නියමිත ආණ්ඩුකාර ධූර සඳහා  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්ද නම් තුනක් යෝජනා කර ඇතැයි වාර්තා වේ.

මීට අමතරව දැනට සිටින ආණ්ඩුකාරවරුන් කිහිප දෙනකු  වෙනස් නොකරන ලෙසටද  ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක්  කළ බව පක්ෂයේ   ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ලංකාදීපට පැවසීය.

වයඹ පළාතේ  ආණ්ඩුකාරවරයා හැටියට පසුගියදා පත්කෙරුණු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යෝජනා කළ එක් නාමයක් බවද  එම ප්‍රකාශකයා සඳහන් කළේය.

ආණ්ඩුකාර තනතුරු කිහිපයක් වෙනස් නොකරන ලෙස ජනාධිපතිවරයාගෙන්  කළ ඉල්ලීමට ජනාධිපතිවරයා සුබවාදී ප්‍රතිචාර  දක්වා ඇතැයිද  එය  සතුටට  කරුණක් යැයිද  හෙතෙම වැඩිදුරටත් පැවසීය.

වයඹ උතුර සහ නැගෙනහිර පළාත්වල නව ආණ්ඩුකාරවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී පසුගිය 17  වැනිදා දිවුරුම් දුන්හ.