(ඩයනා උදයංගනී)

2022 නව වසර උදාවීමත් සමඟ ආගමික වතාවත්වල නිරත වී ආශීර්වාද ලබා ගැනීමට පැමිණි ජනතාවගෙන් වෙහෙර විහාර ඇතුළු ආගමික ස්ථාන පිරී ගොස් තිබිණි.

නව වසරේ ජනතාවට සෙත් පතා ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිටම ආගමික ස්ථානවල ද සෙත් පිරිත් ඇතුළු ආගමික වැඩසටහන් සංවිධානය   කර තිබිණි.

අනුරාධපුර අටමස්ථාන, කැලණිය රජමහා විහාරය, මහනුවර ශ්‍රී දළඳා මාළිගය, කතරගම පුදබිම ඇතුළු බෞද්ධ ආගමික සිද්ධස්ථාන සියල්ල අද ජනතාවගෙන් පිරී ගොස් තිබූ අතර බොහෝ දෙනෙක් නියමිත පරිදි මුව ආවරණ පැළඳ සෞඛ්‍යාරක්ෂිතව ආගමික වතාවත්වල නිරතවනු දක්නට ලැබිණි.

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය ද බැතිමතුන්ගේ පිරී ගොස් තිබූ අතර, ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් ඇතුළු සංඝරත්නය විහාරස්ථානයට එන බැතිමතුන්ට ආශිර්වාදාත්මක තුටු පඬුරු ද පිරිනැමූහ.

පසුගිය වසරෙදී කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ජනතාවට නිවසේ සිටම නව වසර සැමරීමට සිදුවූ අතර මෙවර වසංගත තත්වයේ යම් අඩුවක් පවතින බැවින් ජනතාවට නිදහසේ නව වසර පිළිගැනීමට හැකියාවක් ලැබී තිබිණි.

ඡායාරූප - ශාන්ත රත්නායක


(ඡායාරූප: ළහිරු හර්ෂණ)


(ඡායාරූප: තිලකරත්න දිසානායක)