(යොහාන් භාසුර)

අනුමැතිය ලැබූවන් හැර සෙසු පුද්ගලයන්ට බූලි සහ කෑන්වලට ඉන්ධන සැපයීම අත්හිටුවූ බව ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියකු පැවැසීය.

කර්මාන්ත සඳහා ඉන්ධන ලබා ගැනීමට අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතිය තිබිය යුතු බවත් කෘෂිකාර්මික කටයුතු සඳහා ඉන්ධන ලබාගැනීමට අදාළ ප්‍රදේශය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ අනුමැතිය තිබිය යුතු බවත් ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කරයි.

ඉන්ධන එක්රැස්කර වැඩිමිලට විකිණීම ඇතුළු අක්‍රමිකතා පිළිබඳ අවධානය යොමු කරමින් මෙම තීරණය ගත් බව කී ඛනිජ තෙල් සංස්ථාවේ එම උසස් නිලධාරියා එවැනි අක්‍රමිකතා පිළිබඳ පොලිසිය වැඩිදුරටත් විමර්ශන ක්‍රියාත්මක කරමින් සිටින බවද සඳහන් කළේය.