2016-12-23-ent-03

පසුගිය වසරේ එනම් 2015 දෙසැම්බර් 25 දින මධ්‍යම රාත‍්‍රියේ නත්තල් දේව මෙහෙයට සහභාගි වීම පිණිස බොලිවුඩයේ සුපිරි නිළියන් කිහිප දෙනෙකු මුම්බායිහි දේවස්ථානයකට ගිය අන්දම පැපරාසීන්ගේ කැමරාවල මෙසේ සටහන් වී තිබිණි.

කරිෂ්මා කපූර් ඇගේ දරුවන් වන කියාත් සහ සමෙසිරා දෑතින් අල්ලාගෙන ගිය අතර කරීනා කපූර් ගියේ මව බබිතා සමගය.

හැමදාම මෙන් නත්තල් දිනයේත් අනුරාගී පෙනුම කැපී පෙනෙන ඇඳුම්වලින් සැරසුණ මලයිකා අරෝරා ඛාන් සහ ඇගේ සොයුරිය අම්රිතා අරෝරා ලඩාක් ද ඒ අතර සිටියහ.

ඔවුන් සියලූ දෙනාම විසිතුරු ඇඳුම් පැළඳුම්වලින් සැරසී සිටියත් ලාරා දත්තා දකින්නට ලැබුණේ චාම් ඇඟළුමකිනි.

එදා මෙදා තුර කාලය වසරකින් අතීතයට එක් වී හමාරය. ඒ කාලය ඇතුළත මේ නිළියන්ගේ ජීවිත ද විශාල වෙනස්කම්වලට බඳුන් වී තිබේ. මේ වන විට කරිෂ්මා කපූර් සිය සැමියා සන්ජේ කපූර්ගෙන් දික්කසාද වී සිටින්නීය. සෑහෙන කලක් ඇදී ඇදී පැවති දික්කසාද නඩුවේ තීන්දුව ලැබුණේ 2016 අපේ‍්‍රල් 8 දාය.

කරීනා කපූර් ඛාන් සිටින්නේ මවක් වෙන්නට ආසන්නයේය. මේ නත්තලට පෙර ඇය දරුවා බිහි කරනු ඇතැයි බොහෝ දෙනෙක් අනාවැකි කියති. මාතෘ නිවාඩුව ලබා ගන්නට පෙර තමා බාර ගත් සියලූම දේවල් නොපිරිහෙළා ඉටු කරන්නට ඇය සිය උපරිම උත්සාහය යොදමින් සිටින්නීය. මේ අතර කරීනාගේ හොඳම යෙහෙළිය අම්රිතා අරෝරා ඇය වෙනුවෙන් පෙර නත්තල් සාදයක් ද පැවැත්වූවාය.

අම්රිතා අරෝරා විවාහ වී සිටින්නේ ශකීල් ලඩාක් සමගය. ඇය විවාහයට පෙර ගැබ් ගත් බවට පුවතක් අපේ‍්‍රල් මාසයේදී පැතිර ගියේය. ඒ පිළිබඳව ඇය බොහෝ සෙයින් උරණ වූවාය.

‘‘මම විවාහ වූණේ 2009 මාර්තු 4 වෙනිදා. මගේ පළවෙනි දරුවා ඉපදුණේ 2010 පෙබරවාරි 5 දා ඉතින් කවුද කොහොමද කියන්නෙ මම විවාහයට පෙර ගැබ් ගත්තා කියලා? අනිත් අයගේ හිත රිදෙන දෙයක් මාධ්‍යවල පළ කරන්න ඉස්සර වෙලා ඒවා සහතික කරලා දැනගෙන ඉන්න........’’

ඇය මාධ්‍යවේදීන්ට ද දොස් පවරමින් ප‍්‍රකාශ කළාය.

මලයිකා අරෝරා විවාහ වී සිටියේ සල්මන් ඛාන්ගේ සොයුරා අර්බාස් ඛාන් සමගය. අවුරුදු 18 ක විවාහ ජීවිතය හමාර කළ මලයිකා පසුගිය මාර්තු මාසයේදී අර්බාස්ගෙන් දික්කසාද වූවාය. 14 හැවිරිදි පුතු අර්හාන්ගේ සියලූම කටයුතු තමා බලා ගන්නා බව ද ඇය ප‍්‍රකාශ කර තිබිණි.

ලාරා දත්තාගේ ජීවිතයේ නම් වැඩි වෙනසක් වී නැත. ඇය මහේෂ් භූපති සමග විවාහ වී සිටින්නීය. ඔවුන්ගේ පියකරු දියණිය සධිරාට අවුරුදු හතර සපිරුණේ මේ අවුරුද්දේය.

 

2016-12-23-ent-04
2016-12-23-ent-02
2016-12-23-ent-01