(රංජිත් රාජපක්‍ෂ )

නායයෑමේ දැඩි අවදානමක් හේතුවෙන් හැටන් සමනළගම ප‍්‍රදේශයේ පවුල් 12කට පදිංචි නිවාස වලින් ඉවත් වන ලෙස හැටන් පොලිසියෙන් කළ දැනුම් දීමක් ගම්වාසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් මේ බව වසර ගණනාවකට ප‍්‍රථම හදුනා ගෙන ඇත.
පැය 24ක් ඇතුළත එම ප්‍රදේශයට මිලිමීටර් 125කට වඩා වර්ෂාපතනයක් පතිත වුවහොත් ඉන් ඉවත් වන ලෙස දැනුම් දි තිබුණු අතර වර්ෂාපතනය මැනගැනීම සඳහා එම ප‍්‍රදේශයේ වර්ෂා මානයක්ද සවිකර තිබේ.

පසුගිය දිනවල එම ප්‍රදේශයට බලපෑ මීලිමීටර් 110ක වර්ෂා පතනයක් සමගම එම  පවුල් හැටන් ඩන්බාර් කි‍්‍රඩාංගණයේ කි‍්‍රඩාගාරයට හෝ හැටන් දුම්රිය ස්ථානයේ දැනට වසා දමා ඇති සේවක නිල නිවාසවලට යන ලෙස පොලිසිය තමන් වෙත දැනුම් දුන් බව ප‍්‍රදේශවාසිහූ කියති.

සමනළගම ප‍්‍රදේශවාසින් පවසන්නේ වසර පහක් තිස්සේ මෙම ගැටලුවට ස්ථිර විසදුමක් ලබා දිමට රජයේ නිළධාරින් කිසිදු පියවරක් ගෙන නොමැති බවයි.
තමන්ට හැටන් ප‍්‍රදේශයේ වසා දමා ඇති රජයේ පහසුකම් සහිත නිල නිවාසයක් හෝ තමන්ට ස්ථිර විසදුමක් ලබා දෙන තෙක් කුලි පදනම මත නිවසක් ලබා ගැනිමට අවශ්‍ය කුලි මුදල ගෙවන ලෙසද ඔවුහු ඉල්ලති.

එතෙක් තමන් පදිංචි නිවාසවලින් තම දරුවන් රැගෙන තාවකාලික ස්ථානවල ජිවත් විමට නොහැකි බවද ඔවුහු අවධාරණය කරති.