(නිමන්ති රණසිංහ)

ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම ලබන දරුවකු හත්වන ශ්‍රේණීයට ඇතුළත් කර දීම සදහා අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් ඉල්ලා ලබගත් බව කියන ගම්පහ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ලබන 04 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද (24) නියෝග කළාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ බෙම්මුල්ල, ගම්පහ පදිංචි ගම්පහ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස සේවය කළ කල්‍යාණප්‍රිය සමරතුංග (50) මහතාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවට පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ ගම්පහ පදිංචි කුමාරසිංහ කෞෂල්‍ය නැමැත්තාය.

ජාත්‍යන්තර පාසලක ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන තම දරුවා මෙම පාසලේ 7වන ශ්‍රේණීයට ඇතුළත් කිරීම සදහා ඉල්ලුම්පත්‍ර ඉදිරිපත් කළ බවත් පසුව ඉකුත් 23 වැනිදා විදුහල්පතිවරයා තම ජංගම දුරකතනයට කතා කොට “ඇයි මේක කරගන්නේ නැත්තේ? ඇවිත් මේක කරගන්න.” යනුවෙන් පැවසූ බවත් පැමිණීල්ලෙන් සඳහන් කර ඇත.

පසුව පැමිණීලිකරු විසින් මේ සම්බන්ධයෙන් තම කොමිසමට කරනු ලැබූ පැමිණීල්ලෙන් පසු උපායදූතයෙකු යොදවා අදාළ අල්ලස් මුදල ලබාගන්නා අවස්ථාවේදී විදුහල්පතිවරයාව එම විදුහලේ විදුහල්පති කාර්යාලයේදී අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු ලබන 04 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර එදින තෙක් නඩුව කල් තැබීය.

අල්ලස් කොමිසම වෙනුවෙන් පොලිස් පරීක්ෂක අරුණ මහේෂ් මහතා සහ උප පොලිස් පරීක්ෂඛ ඊ. එම්. ආර්. බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළහ.