නව රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් 27 දෙනෙකු සිය තීරුබදු රහිත වාහන බලපත්‍ර විකුණා අයුතු ලාභ උපයාගෙන ඇති බව සඳහන් කරමින්  තමන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට කර ඇති පැමිණිල්ල කඩිනමින් විභාගයට ගැනීමට නියෝග කරන ලෙස ඉල්ලා නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය.

 අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ,එහි සාමාජිකයින් , අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 85 දෙනෙකු සහ නීතිපතිවරයා පෙත්සමේ වගඋත්තරකරුවෝ වෙති.

පෙත්සමේ මෙසේද සඳහන් වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරුබදු රහිත වාහන ආනයනය කිරීමේ බලපත්‍ර ලබා දෙනුයේ හුදෙක්ම රටෙහි ආර්ථීක සංවර්ධනය සඳහා උපයෝගී කර ගැනීම සඳහාය. එහෙත් බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීන් මෙම බලපත්‍ර විකුණා අයුතු ලාභ උපයා ගනී. මේ හේතුවෙන් රජයට කෝටි ගණනක මුදල් අහිමි වෙයි. මේ සම්බන්ධයෙන් පෙත්සම්කරු 2014 වසරේදී අල්ලස් හෝ දූෂණ කොමිෂමට පැමිණිලි කළත් කිසිදු ප්‍රතිඵලයක් උදා වූයේ නැත.

2015 වසරේදී නව රජය පත්වීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීන් 27 දෙනෙකු මෙලෙස තීරුබදු රහිත වාහන බලපත්‍ර වෙනත් පුද්ගලයින්ට සහ ආයතනයන්ට විකුණා අයුතු ලෙස ලාබ උපයාගෙන ඇත.මෙමඟින් රජයට රුපියල් බිලියන හතක අලාභයක් සිදු වී ඇත.

මේ සම්බන්ධයෙන් ඉකුත් අගෝස්තු මාසයේදී දෙවන වරටත් පෙත්සම්කරු අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිල කළත් ඒ පිළිබඳව මෙතෙක් කිසිදු විමර්ශනයක් ආරම්භ කර නොමැත.

එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසී නිකුත් කරන ලෙසද, මෙම පැමිණිලි දෙක පිළිබඳ විමර්ශන පැවැත්වීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට නියෝග කරන ලෙස ද පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා ඇත.