(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ දෙළුම් වගාවට නවතම ප්‍රභේද දෙකක් වන "මලී PINK" සහ "ලංකා RED" නමින් අද(24) සිට වගාව සඳහා හඳුන්වා දුන්නේය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හෝමාගම පැළෑටි වෛරස් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානය විසින් සිදු කරන ලද පටක රෝපණ පර්යේෂණ අනුව මෙම  දෙළුම්  ප්‍රභේද හඳුන්වා දී ඇත.

නවතම දෙළුම් ප්‍රභේද දෙක හඳුන්වා දීම හෝමාගම පැළෑටි වෛරස් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානයේදී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. 

නව  දෙළුම් ගසක ආයූ කාලය වසර 30ක් වන අතර එක ගසකින් වසරකට දෙළුම් කි‍ලෝග්‍රෑම් 20-25ත් අතර ප්‍රමාණයක් නෙළා ගැනීමට හැකි බව පර්යේෂකයෝ පවසති. අක්කරයකට ගස් 400ක් වගා කළ හැකිය. එමඟින් වාර්ෂිකව රුපියල් ලක්ෂ 80ක ආදායමක් ඉපයිය හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

 මෙම දෙළුම් වර්ග දෙක වියළි කලාපයේ වගාවට සුදුසු වන අතර දැනට ආනයනය කරන රතු පැහැති දෙළුම් ප්‍රභේදවලට විකල්පයක් වශයෙන් මෙම දෙළුම් ප්‍රභේද යොදා ගැනීමට හැකිවන නිසා දෙළුම් ආනයනය සඳහා වැයවන මුදල අප  ඉතිරි කර ගැනීමට හැකිවන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.