(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ තෙල් පිරිපහදුවක් පිහිටුවීම සඳහා සෞදි අරාබියට ඊයේ  (30) ශ්‍රී ලංකාව ආරාධනය කළ බව සෞදි මාධ්‍ය වාර්තා කළේය.

සෞදි අරාබියේ නිල සංචාරයක නිරත වන පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා මෙම ආරාධනය කර ඇතැයි පැවැසෙයි.

සෞදි අරාබිය සමඟ බලශක්ති සහයෝගීතාවය වර්ධනය කර ගැනීමේ අදහසින් ශ්‍රී ලංකාව මෙම ආරාධනය සිදු කර ඇතැයි සෞදි මාධ්‍ය පෙන්වා දුන්නේය.තවද ශ්‍රී ලංකාවේ පතල් කර්මාන්තය සඳහාද සෞදි ආයෝජකයින් ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන බව සෞදි මාධ්‍ය වාර්තා කළේය.  

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ නියෝජිතයෙකු ලෙස පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා ඉකුත් 28 වෙනිදා නිල සංචාරයක් සඳහා රියාද් නුවරට පැමිණි බවත් නිල සංචාරයේදී සෞදි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වලීඩ් අල් කුරයිජි සහ සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරී සුල්තාන් අල්-මර්ෂාඩ් මහත්වරුන් ඇතුළු බලධාරීන් කිහිපදෙනෙකු සමඟ සාකච්ඡා කළ බවත් සෞදි මාධ්‍ය වාර්තා කළේය.

සෞදි අරාබිය සමඟ සහයෝගීතාව වැඩි දියුණු කර ගැනීම ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන වත්මන් ආර්ථික අර්බුදයට සහනයක් ලබා ගැනීම සඳහා උපකාරී වනු ඇතැයි නසීර් අහමඩ් මහතා ඇරැබ් නිව්ස් සමඟ පැවැතී විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත.

සෞදි අරාබියට තමාගේම තෙල් පිරිපදුවක් ශ්‍රී ලංකාව තුළ පිහිටුවීමට අවසර ලබා දීමට ශ්‍රී ලංකා රජය කැමැත්ත ප්‍රකාශ කර තිබෙන බවත් දකුණු ආසියානු කලාපය ආවරණය කිරීමට ප්‍රමාණවත් වන පරිදි ඉන්ධන ගබඩා පහසුකම් සැපයීමට ශ්‍රී ලංකාවට හැකි බවත් එම සම්මුඛ සාකච්ඡාවේදී අහමඩ් මහතා පවසා තිබේ.

සෞදි අරාබිය සමඟ ගෑස් සහ බොරතෙල් සැපයීම ඇතුළු බලශක්ති සහ ඉන්ධන ක්ෂේත්‍රයන්හි දිගු කාලීන සබඳතා ඇති කර ගැනීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බව සෞදි මාධ්‍ය පෙන්වා දුන්නේය.

සෞදි අරාබියේ 2030 ඉදිරි දැක්ම සාර්ථක කර ගැනීම සඳහා සහාය වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදහස් කරන බවත් එමගින් සෞදි අරාබිය සහ ශ්‍රී ලංකාව අතර බලශක්ති ආරක්ෂණ සහයෝගීතාව වැඩි දියුණු කර ගැනීමට බලාපොරොත්තු වන බවත් අහමඩ් මහතා ප්‍රකාශ කර ඇත.මෙම සහයෝගීතාව මගින් ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 300 ක් වූ ද්වි පාර්ශ්වික වෙළඳාම අනාගතයේ බිලියන ගණනක් දක්වා වැඩි වෙනු ඇතැයි තමන් සුභවාදීව විශ්වාස කරන බව අහමඩ් මහතා එම සම්මුඛ සාකච්ඡාවේදී පවසා තිබේ.