
(විමුක්ති එස් රුද්‍රිගු)
කොම්පඤ්ඤවීදියේ අල්ටෙයාර් තට්ටු නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් වැටුණු සිසුවාගේ සහ සිසුවියගේ මරණය සැකසහිත නම් ඒ පිළිබඳ පැමිණිල්ලක් පොලිසියට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා එම සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලික පැමිණිල්ලක් ගොනු කිරීම සඳහා අවසර ලබා ගැනීමට පැමිණි සිටි නීතිඥ අසංක දයාරත්න මහතාට දැනුම් දුන්නේය.
අල්ටෙයාර් තට්ටු නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් වැටුණු සිසුවාගේ සහ සිසුවියගේ මරණය සැකසහිත බවට සිසුවාගේ පියා ප්‍රකාශ කර තිබෙන බැවින් ඔවුන්ගේ මරණයට සැකසහිත බවට පුද්ගලික පැමිණිල්ලක් ගොනු කිරීමට අවසර ලබා දෙන ලෙස නීතිඥ අසංක දයාරත්න මහතා ඊයේ(08) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
එහිදී කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා කියා සිටියේ එම සිසුන් දෙදෙනාගේ මරණය සැකසහිත බවට පුද්ගලික පැමිණිල්ලක් ගොනු කිරීමට ඉඩ ලබාදිය නොහැකි බවත් මරණයක් සැකසහිත බවට චෝදනා ගොනුකළ යුත්තේ පොලිසිය බවත්ය.
දැනටමත් කොම්පඤ්ඤවීදිය පොලිසිය බී වාර්තාවක් මගින් කරුණු වාර්තා කර ඇති බැවින් එහි ගොනු අංකය ලබාගෙන අදාළ පැමිණිල්ල පොලිසියට සිදුකරන ලෙසද මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා පැවැසුවේය.
කොම්පඤ්ඤවීදිය පොලිසිය පසුගියදා බී වාර්තාවක් මගින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ අතර එහිදී 67 වැනි මහලෙන් වැටුණු සිසුවාගේ සහ සිසුවියගේ ජංගම දුරකතනවල ඇතුළත් කර තිබූ සිම් කාඩ්පත්වලට අදාළ දුරකතන ඇමැතුම් දත්ත වාර්තා කොම්පඤ්ඤවීදිය පොලිසියට ලබා දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා අදාළ දුරකතන සේවා සපයන සමාගම්වලට නියෝගයක්ද නිකුත් කළේය.
මියගිය සිසුවා සහ සිසුවිය අල්ටෙයාර් තට්ටු නිවාස සංකීර්ණයේ සිටි ඔවුන්ගේ මිත්‍රයකු මුණ ගැසීමට ගොස් ඇති බවත් එම මිත්‍රයා පාකිස්තාන ජාතිකයකු බවත් එම අවස්ථාවේදී කොම්පඤ්ඤවීදිය පොලිසිය ප්‍රකාශ කළේය.
එම පකිස්තාන ජාතික සිසුවාගේ පියා පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ තානාපති වරප්‍රසාද ඇති ඉහළ නිලධාරියෙකුගේ පුතකු වූ බැවින් එම සිසුවාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපොහොසත් වූ බවද එහිදී කොම්පඤ්ඤවීදිය පොලිසිය පැවැසුවේය.
COMMENTS
ඇයි මෙයාලාගේ නම් ගම ප්‍රසිද්ධ කරන්න බැරි ?
මේ සිද්ධිය අපේ ගමේ පාසල් යන්න සපත්තු දෙකක් ගන්න බැරි කොලුවට අදාල නැති වුණත් රටේ ජනතාවගෙන් යැපෙන පොලිසිය වගේ ආයතනවල සම්පත් මේ හබවල සුලමුල හොයන්න වැය වෙනවා. මම අර කිව්ව දරුව තව තවත් දුප්පත් වෙනවා. හරි නම් මේ අමුතු වැඩ නිසා වන දේවල පරීක්ෂණ සඳහා මුදල් අයකරගත යුතුයි .
සෙනෙවිරත්න මහතා සමාජ වයිරය තම ජීවිකාව කරගත් පක්ෂයකට කඩේ යන්නෙක් බවයි එතුමාගේ කොමෙන්ටුවෙන් පෙනෙන්නේ.
සෙනවිරත්නගේ කතාව වැරදියි නීතිය කාටත් එකයි එකට පොලිසියට වත් උසාවියටත් මුදල් අය කරන්න බෑ.