
(ඩයනා උදයංගනී)
නත්තල ප්‍රීතිදායක එකක් වන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගෙනා ආදරයේ, සහෝදරත්වයේ හා අසරණයන්ට පිහිටවීමේ පණිවුඩය තුළ ජීවත් වුවහොත් තමණක් යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
කොවිඩ් වසංගතය නිසා බොහෝ දෙනෙකුට සතුටින් ජීවත්විය නොහැකි වාතාවරණයක් තුළ සමරන මෙවර නත්තල තමන්ට හැකි තරමින්, දිළිඳු අසරණ අයට පිහිටවීමේ අවස්ථාවක් බවට පත්කරගත යුතු බව ද කාදිනල්තුමෝ කීහ.
නත්තලේ දී ඒ ගැන නොසිතා ආත්මාර්ථකාමී ලෙස ශරීරය හෝ මනස සංතෝෂ කරගැනීම පමණක් කළහොත් පසුදිනට දැනෙන්නේ හිස් භාවයක් යැයි ද අගරදගුරුතුමෝ සඳහන් කළහ. මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් මේ බව පැවසුවේ මෙවර නත්තල් දිනය වෙනුවෙන් මාධ්‍ය වෙත සිය පණිවුඩය ඇතුළත් ප්‍රකාශයක් කරමිනි.
එහිදී කාදිනල්තුමෝ මෙසේ ද පැවසූහ.
“අවුරුද්දක් ගෙවීයමින් අවුරුද්දක් පැමිණෙන විට නත්තල ගැන අපේ අධානය යොමුවෙන්නට පටන් ගන්නවා. බොහෝ විට අපට නත්තල සම්බන්ධයෙන් අමතක වන දෙයක් තිබෙනවා. ඒ නත්තල යනු සංස්කෘතික උළෙලක්, සමාජ උත්සවයක් පමණක් නොව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සැමරීම වන බවයි. දෙවියන් වහන්සේගේ එකම පුත්‍රයා වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මනුෂ්‍යත්වය රැගෙන අප අතර ජනිතවීමේ සිද්ධිය අප නත්තලෙන් සිහි කරනවා. එය ලෝකයට බලාපොරොත්තුව සහ ලොකු ආශීර්වාදයක් ගෙනදුන් අවස්ථාවක්. 16 වන බෙනඩික් පාප් වහන්සේ සඳහන් කළේ ‘අපි නත්තල් උත්සවයෙන් සමරන්නේ ලෝක ඉතිහාසය වෙනස් කළ සිද්ධියක්’ බවයි.
එදා මරියතුමිය සහ ජුසේතුමා බෙත්ලෙහෙම් නුවරට පැමිණි සංක්‍රමණිකයන් වුණා. ඔවුන්ට නවතින්නට හෝ තැනක් තිබුණේ නැහැ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ බෙත්ලෙහෙමේ ගවලෙනක උපත ලැබුවා. උන්වහන්සේට සුව යහනක් හෝ සිනිදු සළු පිළි තිබුණේ නැහැ. උන්වහන්සේගේ ශරීරය ඔතා තබන්නට භාවිතා කළේ සාමාන්‍ය රෙදි කඩක් පමණක් බවත් උන්වහන්සේ ගව ඔරුවක බහා තිබූ සඳහන් වෙනවා.
ඉතිහාසයක් වෙනස් කළ සුවිශේෂ චරිතයක් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත ලබන්නේ ඉතා බැහැපත් නිහතමානී පරිසරයකයි. අපි නත්තල් උත්සවය සමරද්දී එය අමතක කරනවා. කෑම, බීම, ඇඳුම්, පැළඳුම්, තෑගි භෝග මෙන්ම සතුට දනවන සැරසිලි ගැන අපේ අවධානය යොමු කරනවා. ගව මඩුව අමතක කරනවා. අපි නත්තල් මංගල්‍යයේ සැබෑ අර්ථය තේරුම් ගෙන කටයුතු කරන්නේ නම් නත්තල පුළුවන් තරමින්, දිළිඳු අසරණ අයට පිහිටවීමේ අවස්ථාවක් බවට පත්කරගත යුතුයි.
මේ වන විට අපේ රට තුළ ජීවත්වන බොහෝ දෙනෙකුට සතුටින් ජීවත්විය නොහැකි වාතාවරණයක් පවතිනවා. ගවහලේ ඉපදුණ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමරන අපිට කවදාවත් ඒ යථාර්ථය අමතක කරන්න බැහැ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ ඒකයි.
ස්වාමීන් වහන්සේ තමන්ට වඩා අනුන් ගැන සිතමින් අනුන් වෙනුවෙන් මේ ලෝකයට පැමිණ, අනුන් ගලවා ගැනීම සඳහා තමන් වහන්සේගේ ජීවිතය පූජා කරමින් ඒ උතුම් කැඳවීම සම්පූර්ණ කරන්න මේ ලෝකයට පැමිණි බව සිහිකර උන් වහන්සේ ගෙනා ආදරයේ සහෝදරත්වයේ හා අසරණයන්ට පිහිටවීමේ පණිවුඩය තුළ ජීවත් වුණොත් පමණයි අපේ නත්තල ප්‍රීතිදායක එකක් බවට පත්වන්නේ. අපේ ශරීරය හෝ මනස සංතෝෂ කරගැනීමට ආත්මාර්ථකාමී ලෙස නත්තල ගතකළොත් දෙසැම්බර් මාසයේ 26 වැනිදා අපට දැනෙන්නේ හිස් භාවයක්.
අපේ මර්සලින් ජයකොඩි පියතුමා කිව්වා වගේ පැල්පතේ බත ඉදුණදාටයි නත්තල කියන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රීතිදායක අවස්ථාව අපි සැමරිය යුත්තේ ප්‍රේමය, බෙදා හදාගැනීම, සහෝදරත්වය යන උතුම් ගුණාංගයන්හි ජීවත් වෙමින් දයාවන්තවයි.” යැයි ද කාදිනල්තුමෝ පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd