(විනීතා එම් ගමගේ)

රටේ ආර්ථිකය බරපතල අර්බුදකාරි තත්ත්වයක පවතින බැවින් මේ අවස්ථාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය පැතීමේ කිසිදු වරදක් නැතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප‍්‍රකාශ කළේය.

එසේ වුවද මූල්‍ය අරමුදල දමන සියලූ කොන්දේසි පිළිගත යුතු නැති බවත් එම අරමුදලේ සහය පැතීම හෝ වෙනත් මිත‍්‍ර රටක සහයෝගය ලබා ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතු බවත් කී අමාත්‍යවරයා මේ වනවිට ශ්‍රී ලංකාව ඩොලර් පිළිබඳ ගැටළුවකට මුහුණ දී සිටින්නේ යැයි ද කීය.

පසුගිය කාලයේ් පැවැති රජයයන් බොහොමයක් අර්බුදකාරි අවස්ථාවල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ගත් බවත් එහි දී පිළිගත හැකි කොන්දේසි පිළිගත්තා සේම ඉටු නොකල හැකි ඒවා ප‍්‍රතික්ෂේප කළේයැයි ද පැවසීය.

පඩු ලබන ඇතැම් ආයතන පුද්ගලිකරණය කළ යුතු- යැයි මූල්‍ය අරමුදල කොන්දේසියක් ඉදිරිපත් කරන්නට ඉඩකඩ ඇතැයි කී අමාත්‍යවරයා එමෙන්ම අලූතින් රජයේ සේවය සඳහා බඳවා ගැනීම නොකළ යුතු යැයි ද කොන්දේසියන් පැනවීමට ඉඩ ඇතැයි ද කීය.

මේ වනිවිට රජයේ සේවය සඳහා බඳවා නොගන්නා බැවින් එයින් ප‍්‍රශ්නයක් ඇති නොවන බවත්, ශ්‍රීලංකන් ගුවන් සේවය වැනි අතිශයින් පාඩුපිට පවත්වාගෙන යන ආයතන පුද්ගලිකරණය කිරීම ප‍්‍රශ්නයක් නොවනු ඇතැයි ද අමරවීර මහතා පෙන්වා දුන්නේය.

අමරවීර මහතා මේ අදහස් පළ කළේ පරිසර අමාත්‍යංශයේ අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.