(ඩයනා උදයංගනී)

පුළුල් ජාතික වැඩපිළිවෙලක් සහිත නව සන්ධානයක් තුළින් අනාගතයේ ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බව  ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ඉදිරි මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රබලම හා ශක්තිමත්ම දේශපාලන පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනගන බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (10) විවෘත කෙරුණු එම පක්‍ෂයේ නව මාධ්‍ය මධ්‍යස්ථානය පිහිටුවීමේ අවස්ථාව එක් වෙමිනි.

ඉදිරියේදී තම පක්‍ෂය පුළුල් ජාතික වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන බවත්, එම වැඩපිළිවෙල හා එක් වන අය සමඟ අනාගතයේ දී ආණ්ඩුවක් පිහිටුවන බවත් හිටපු ජනාධිපතිවරයා පැවසීය.

අලුත් සන්ධානයක් හදනවා ද? යනුවෙන් මෙහිදී මාධ්‍යවේදියෙක් නැගූ පැනයකට පිළිතුරු දුන් මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ ‘බොහෝවිට අලුත් එකක් තමයි හදන්න වෙන්නේ පරණ ඒවා එක්ස්පයර් නේ.’ යනුවෙනි.