( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

අනාරක්ෂිත ගෘහස්ත ගෑස් සිලින්ඩර ආනයනය කර බෙදා හැරීමට කටයුතු කළ ගෑස් සමාගම් හා  වගකිවයුතු සියලු පිරිසට එරෙහිව  නීතිමය පියවර ගැනීමට නීතිපතිවරයා ට හා පොලිස්පතිවරයාට නියෝග කරන්නැයි  ඉල්ලා ගොනු කළ පෙත්සම  සම්බන්ධයෙන් සීමිත විරෝධතා  ඉදිරිපත් කිරීමට  අපේක්ෂා කරන බව  නීතිපති සහ වගඋත්තරකාර ලාෆ් හෝල්ඩින්ස් සමාගම වෙනුවෙන් පෙනීසිටි  නීතීඥවරයා අද (10) අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම පෙත්සම රුවන් ප්‍රනාන්දු,සම්පත් අබේකෝන් යන මහත්වරුන් ගෙන් යුතු අභියාචනාධිකරණය  විනිසුරු මඩුල්ල හමුවේ කැදවූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු විණි.

මෙහි වගඋත්තරකාරකරුවන්  නොතීසි නිවරුදිව ලැබී නැති හෙයින් ඔවුන් නැවත නොතීසි දන්වා යැවීමට පියවර ගන්නා ලෙස  විනිසුරු මඩුල්ල  පෙත්සම්කරුට නියෝග කළේය 

ඒ අනුව පෙත්සම ලබන14 සලකා බැලීමට අභියාචනාධිකරණය අද තීරණය  (10)  කෙරිණි.

විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනු කළ  මෙම පෙත්සමේ වගඋත්තරකරුවන්  ලෙස වෙළද ඇමැති බන්දුල ගුණවර්ධන ,රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න,ලාෆ් හා ලිට්‍රෝ ගෑස් සමාගම් පාරිභෝගික සේවා අධිකාරිය ,ශ්‍රී ලංකි ප්‍රමිති කාර්යංශයේ අධ්‍යක්ෂ ජනරාල් සිද්ධිකා සේනාරත්න මහත්මිය හා නීතිපතිවරයා ඇතුළු 10 දෙනෙක් නම් කර සිටිති.

අනාරක්ෂිත ගෘහස්ත ගෑස් සිලින්ඩර ආනයනය කර  බෙදා හැරීමට  කටයුතු කල ගෑස් සමාගම්  සහ වගකිවයුතු  පුද්ගලයන්ට එරෙහිව අපරාධ  නීතිය යටතේ   නීතිමය පියවර ගන්නා  ලෙස   නියෝග කරන්නැයි ද මෙම පෙත්සම මගින් ඉල්ලා ඇත

තවද වගඋත්තරකාර ලාෆ්ස්  සහ,ලිට්ට්රෝ ගෑස්   සමාගම්  සතු සියලු  වත්කම් අත් හිටුවන  අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද  මෙම පෙත්සමෙන් ඉල්ලා ඇත. 

එසේම අනාරක්ෂිත  ගෘහස්ත ගෑස් සිලින්ඩර  පුපුරා යාමෙන් අනතුරට පත් සහ මියගිය  අයගේ  පවුලේ ඥාතීන් ට වන්දි  ගෙවන ලෙස  අදාළ  ගෑස්  සමාගම් වලට නියෝගයක් කරන්නැයි ද පෙත්සම මගින්  ඉල්ලා  තිබේ. 


ගෘහස්ථ  ගෑස් සිලින්ඩර භාවිතයට ගන්නා  පාරිභෝගිකයන්  විශාල පිරිසක් සිටින බව  පෙත්සම්කාර නාගානන්ද කොඩිතුවක්කු මහතා සිය පෙත්සමින් පෙන්වා දේ. 

 ගෑස් සිලින්ඩර බෙදා හැරීමේ  කටයුතු  සමාගම්  දෙකක්  මගින්  සිදු කරන අතර ගෑස්   සිලින්ඩර වල සංයුතිය බියුටේන් සියයට 80ක් සහ ප්‍රොපේන් සියයට 20ක් ලෙස පැවතියද    එම සංයුතිය සියයට  50 තෙක්  වෙනස් කිරීමට  එම සමාගම් රහසිගතව  කටයුතු කර ඇති අතර දිවයිනේ  ප්‍රදේශ කිහිපයකම ගෑස් සිලින්ඩර පුපුරා  යාමේ සිද්ධිය  වාර්තා  වූ බවද පෙත්සමෙහි සදහන් වේ. 

එසේම  පුපුරා යාමේ  සිද්ධි වාර්තා වූ විගස එම ගෑස් සිලින්ඩර බෙදා හැරීමේ කටයුතු අත්හිටුවීමට   බලධාරීන්  කටයුතු  නොකළ  බවද පෙත්සම්කරු  පෙන්වා  දෙයි.  

පාරිභෝගික කටයුතු අධිකාරියේ සහ ශ්‍රී ලංකා  ප්‍රමිති  ආයතනයේ  බලධාරීන්ගේ නොසැලකිලිමත් කම මත මෙම  සිදුවීම් වන බවට පෙත්සම්කරු චෝදනා කරයි.

එබැවින්  මෙම  පෙත්සම විභාගයට  ගෙන  අදාළ  නියෝගයන් ලබා දෙන ලෙස  පෙත්සම්කරු සිය රිට් පෙත්සමෙන් සිටී.