(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මව සමග පවත්වන අනියම් සම්බන්ධතාවට විරෝධය පළ කර එම සම්බන්ධය වහාම නතර කරන ලෙස පවසා පොලිස් සැරයන්වරයකුට බැණ වැදුණු එම කාන්තාවගේ 17 හැවිරිදි දියණියට අමානුෂික ලෙස පහරදුන් බව කියන පොලිස් සැරයන්වරයා ශ්‍රීපුර පොලිසිය විසින්  අත්අඩංගුවට ගනු ලැබීය.

පොලිස් සැරයන්ගේ පහරකෑමට ලක්වූ 17 හැවිරිදි දැරිය තුවාල ලබා පදවි ශ්‍රීපුර රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මෙම දැරිය පාසල් සිසුවියකි.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ ත්‍රිකුණාමලය, උප්පුවේලි පොලිසියේ රාජකාරි කරන සැරයන්වරයකු බව පොලිසිය පවසයි.

සැකකාර සැරයන්වරයා පදවිය ශ්‍රීපුර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක සමග කාලයක සිට අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇතැයි කියති.

මේ සම්බන්ධය නතර කර දමන ලෙස දියණිය මවගෙන් නිතර ඉල්ලීම් කර ඇති බව ද පැවැසෙයි.

දියණිය  නිවසට පැමිණි අවස්ථාවේ මව සමග සම්බන්ධතාවක් පවත්වාගෙන යන්නේ යැයි කියන පොලිස් සැරයන්වරයා සිටිනු දැක ඔහුට වහාම නිවසින් පිටව යන ලෙසත්, මෙම සම්බන්ධය නතර කර දමන ලෙසත් පවසමින් ඔහුට බැණ වැදී ඇතැයි පොලිස් ආරංචිමාර්ගවලින් දැන ගැනීමට ඇත.

ඉන් කෝපයට පත් සැරයන්වරයා දැරියට පහර දී පලාගොස් ඇතැයි පොලිසිය කියයි.

මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ල අනුව පරීක්ෂණ පවත්වා, දැරියට පහර දුන් බව කියන පොලිස් සැරයන්වරයා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැරයන්වරයා සම්බන්ධයෙන් විනය පරික්ෂණයක් පවත්වා වැඩ තහනම් කිරීමට පියවර ගන්නා බව උසස් පොලිස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවැසීය.

ශ්‍රීපුර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.